Pages

Wednesday, August 20, 2014

පොඩ්ඩන් වෙනුවෙන් ලියැවුනු රන්දිගේ "සොඳුරු බාලේ ගෙවුනු තාලේ"


"දුවලා ලෙඩ වැඩි උනොත් පුතේ ගෙදර යන්න බැරි වෙයි..." වාට්ටුව පුරා දුවන, පොඩි චන්ඩි පැංචෙක්ට මගේ සුපුරුදු දේශනය දුන්නා.
" කමක්  නෑ මං මෙහෙ ඉන්නවා" පැංචා දුන්නු උත්තරෙන් මම පුදුමයට පත් වුනා.
මෙහි එන ඔක්කොම කැමති ගෙදර යන්න ඒත් සමහර පැංචො , පැංචියො කැමතියි ඉස්පිරිතාලේ ඉන්න. අන්න ඒ අයගේ කතන්දරයයි අද මම කියන්නේ.
" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.
" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්.
ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා. ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.

 "එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා.
" අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.

විශ්වාස කරන්න.. මේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.

"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.
"අහන්නේම නෑ කියන දේ ඩොට්ට"  ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ.
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ.
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි. " මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ,  "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.

ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා. ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය. සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ.

ළමයින් වෙනුවෙන් ඇති දෑ කප්පාදු වෙන නොසලකා හැරෙන ලොවක අපට ඉතා වටිනා ආරංචියක් ලැබෙනවා. ඒ , බ්ලොග් අවකාශයේ නිදහස් සිතුවිලි තුලින් බොහෝ කල් සිට බ්ලොග් තුලින් අප හමුවූ රන්දිකා සොයුරිය ළමා ලෝකයට තිලිණ කරන අපූරු පොත් පිංචක් ගැන ආරංචියයි.  පුංචි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නටම වෙර දරන මිනිසුන් මැද, සෑම මාධ්‍යයකින්ම සිදුවෙන්නේ කුඩා මොළ විනාශ කරවන ඔවුන් හට නොගැලපෙන විවිධ දේ තුලින් ඔවුන්ගේ මනස විකල් කිරීමය. 

එවැනි සමාජයක රන්දිකා රණවීර, පොඩි දරුවන්ට තිලිණ කරන මේ පොත තුලින් ළමා මනසට ගැලපෙන ආකාරයේ ආමන්ත්‍රනයක යෙදේ. 
"පුතේ මම පොඩි කාලේ මට වුන දේ මෙසේයි" කියමින් ඇලෙසැන්ඩර් රස්කින් ලියන ලද මේ කතා මාලාව අපේ රටේ දුවා දරුවන්ට ගැලපෙන ලෙස අනුවර්ථනය කර ඇති අයුරු අපූර්වය. ඒ තුලින් ඔවුන්ට සමාජය පිළිබඳව කදිම අවවාද සහිත පණිවිඩයක්ද ඇතුල් කරයි. මට ඇගේ බ්ලොග් පිටුව තුලින් පොතේ පරිඡේද කිහිපයක් කියවන්නට ලැබිනි.දරුවන්ට ලියවුනු පොත් අඩු මේ කාලයේ අපේ දැයේ දුවා දරුවන්ට කියවන්නට දිය යුතුම පොතක් අප අතට පත් කිරීම ගැන රන්දිකා මා මිතුරියට මම බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මේ 23 වැනි සෙනසුරාදා සවස 3 සිට 6 දක්වා කොළඹ 7 පුස්තකාල සහ ප්‍රලේඛන ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වෙන මේ පොත දොරට වැඩීමේ උත්සවයට සියල්ලන්ටම ආරාධනා කරමින් රන්දි මුහුණු පොතේ මෙසේ සඳහන් කර තිබුනා. 

මෙන්න මුහුණු පොතේ යොමුව, ඔබේ පැමිණීම සටහන් කරන්න.