Friday, September 20, 2013

අනිත්කොණේ අපි දෙමළ උගත් හැටි...

මනසට ආහාර.....මුහුනු පොතේන් බෙදා ගැනීමක්
රාජ්‍ය සේවකයො හැටියට අපිටත් අපි රජයේ පත්වීම අරගෙන අවුරුදු 2 ඇතුලත ස්ථීර වීම් සහ උසස් වීම් සඳහා පරිපාලන සම්බන්ද විභාගයකට මුහුණ දෙන්න
වෙනවා. හොඳ වේලාවට අපට සීමාවාසික කාලයේ මේ විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය නැත්තේ. එහෙම උනානම් අර මහා වැඩ කන්දත් එක්ක කොහොම කරන්නද ? මේ ළඟදි දවසක රටේ තැන තැන විසිරිලා හිටපු අපි සමහරෙක්ට එකට එක්කාසු වෙන්න චාන්ස් එකක් ආවා මීටිමක් නිසා. අගනුවරට කිට්ටුව සේවය කරපු මගේ හුඟක් යාළුවන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි ඔය විභාගෙට අවශ්‍ය දෙමළ බස කොහොම ඉගෙන ගන්නද කියලා. රටේ අනිත් කොණේ වැඩ කරපු දෙමළ බස පුරුදු පුහුණු වුන අපටනම් ඉතින් ඒක එතරම් ප්‍රශ්නයක් වුනේ නෑ. වෙලාවට එහෙම තැනක වැඩ කලේ කියලයි හිතුනේ.

වචනෙන් වචනේ දෙමළ අහුලගෙන කතා කරන අපිට හිනාවෙන්න අපේ යහළුවෙක් වන සීලන් නැති වුනාට සීලන් සිංහල කතා කරනකොට ශිෂ්‍යයින් කාලේ අපි සෑහෙන්න හිනා වුනා.
සීලන් , කාසල් රෝහලේ සායනීක පුහුණුවකදී අම්මා කෙනෙකුට කහින්න ඉගැන්නු හැටි මතක් වුනා. සීලන් සිංහල කතාකරන්නේ අහුලමිනි. රෝගියෙකුගේ ගැටිති, ඉදිමිච්චි තැන් පෙන්වා "ඒක මොනාද ?" කියලා අසද්දී අපි හිනාව නවත්තා ගත්තේ අමාරුවෙනි.
සායනයකදී , බඩේ තිබුනු හර්නියා එකක් පරීක්ෂා කරන්න ගිහින් "අම්මේ කහින්න" වෙනුවට "අම්මේ කහන්න" යැයි කියූ විට අර අම්මා හොල්මන් වී "කොහේ කහන්නද කියලා ඇසූ හැටිත් සීලන්ට ඒ විත්තිය නො ඇසී ආයෙත් "අම්මේ කහන්න හොඳට.. "යැයි සද්දෙන් පැවුසූ හැටිත් අර අම්මාගෙන් යමක් අහගන්නට කළින් , එය ඇසුනු අපි ළඟට ගොස් සීලන්ට ඒ ගැන පැහැදිලි කර අයුරුත් මතක් වෙද්දී දැනුත් මගේ මුවගට සිනහවක් නැගෙන්නේ නිරායාසයෙන්මයි.

 මම අනිත්කොණ යද්දී දෙමළ කතාකරන්න බැරි වුනෙන් හිත දෙගිඩියාවෙන් පෙළුනා. අපේ ජේෂ්ඨ වෛද්‍යවරයාත්, "දෙමළ බැරුව මෙහෙ වැඩ කරන්නේ කොහොමද ? ඉක්මනින් ඉගෙන ගන්න වෙයි , නැත්නම් ට්‍රාන්සර් එකක් අරගෙන දකුණට යන්න වෙයි" කියා අපේ සිතේ බිය තවත් වැඩි කලා. මේ රටේ ගොඩක් ප්‍රශ්ණ වලට මුල ජාතීන් අතර හොඳ සන්නිවේදන මාධ්‍යයක් වන මේ භාෂාව නොදැනීම කියලත් මට හිතුනා. සියයට අනූ අටක්ම දෙමළ පුර වැසියන් වසන ප්‍රදේශයක පළාතේම මහ රෝහලක සේවය කරන්න වුනහම අනිවාර්‍යයෙන් දෙමළ බස කතා කරන්නම වෙනවා. නැත්නම් රෝගීන්ගෙන් සායනික ඉතිහාසය ගැනීමේ සිට සායනික වටය සඳහාත්, පරිවර්ථක කෙනෙකුගේ සහය ලබාගන්න වෙනවා, ඒත් මේ පරිවර්ථකලත් අපූරු වැඩ කරලා අපේ සමහරුන්ට වැරදි ලෙඩ කියා තිබෙනවා පසුව ආරංචි වුනා.

මගේ පියාගෙන් ලැබුනේ අපූරු උපදෙසක්. "පුතේ මමත් කාලයක් තිස්සේ හිතුවේ දෙමළ ඉගෙන ගත්තානම් කොයි තරම් හොඳද කියලා.... ඒක මේ රටේ ජීවත් වෙන්න ගොඩක් වැදගත් වෙනවා. මේ ප්‍රශ්ණ බොහොමයකට මුල ඔය වගේ සුළු දේවල් තමයි. පුළුවන්නම් ඉගෙන ගන්න " කියලයි. ඒ වෙද්දි මම දැනන් උන්නේ වාංග පෝංග, ඔන්ඩු රෙන්ඩු මූන්ඩු නාල විතරමයි. ඉස්කෝලෙදිවත් ඉගෙන ගත්තෙ නෑ.. මං හිතන්නේ අපේ කාලේ ඒ දෙමළ විෂයය අනිවාර්‍යය නෑති නිසා අපිට ඉගෙන ගන්න පුළුවන් උනේ නෑ. මෙහෙන් යද්දී සිංහලෙන් දෙමළ උගනිමු පොත් කීපයක් ගෙනිච්චත්,වාට්ටුවල පීරී ඉතිරී යන රෝගී ගංගාවත් එක්ක මොන දෙමළ ඉගෙන ගන්නවද ... මම කලේ දෙමළ පුළුවන් සිංහල ඇටෙන්ඩන් කෙනෙක්ගේ සහය අරගෙන ලෙඩුන්ගෙන් අහන්න ඕනෙම ටික කොලේක ලියා ගත්තා... ඊට පස්සේ එයාලා දෙන්න පුළුවන් උත්තරත් ලියා ගත්තා. කටපාඩම් කරා.... කොළේ තියෙන ටික කීප සැරයක් ලෙඩුන් සිය ගණනකගෙන් අහද්දී නිකම්ම මතකේ හිටියා. එයාලා කියන උත්තර වල නොදන්නා වචන එවෙලෙම අහගෙන ලියාගත්තා...ඊට පස්සේ වචන අමුණන හැටි ඉගෙන ගත්තා... ඒ කියන්නේ , අපි උනත් කතා බහ කරද්දී පාවිච්චි කරන.... "ඉතින්, එතකොට, එහෙම නැත්නම්, ඊට පස්සේ, සමහර විට, ආයෙම, එහෙම කරොත්... වගේ ඒවා ටික ඉගෙන ගත්තම බොහොම ලේසි උනා වැඩේ... අතීත අනාගත වර්ථමාන යෙදුම්... අග වෙනස් වෙන හැටි .. ඒවානම් වරද්ද වරද්ද තමයි ඉගෙන ගත්තේ....

ඔන්න වෙලාවකට ආම්බල , පෝම්බල ,වචන දෙක ... පටලැවෙනවා, (ගෑණු පිරිමි) , කට්ටිල ( ඇඳ ) කුට්ටිල ( කාමරය ) පටලැවෙනවා. රෝගියාට ඇඳට නගින්න කීවම, සමහරු මොන කාමරයටද යන්නේ අහනවා.... බලද්දී මමයි පටලවන් තිබුනේ... ඔන්න ඔහොම කොහොම හරි සායනයේදී උනත් දෙන උපදෙස් ටික හොඳින් කටපාඩම් කරගෙන මතකේ තිබ්බා... එහෙම නිතරම භාවිතා කරද්දී දෙමළ බස හොඳටම හුරු වුනා. සති කිහිපයකින් අපට දමිළ ජාතික විශේෂඥ වෛද්‍යවරයෙක් පැමිණියා. මම ඔහුගේ සහයට ක්ලිනික් එකේ ඉන්න විට දෙමළ රෝගීන්ට දෙමළෙන්ම උපදෙස් දෙන විට ඔහු ඒ දෙස පුදුමයෙන් බලා ඉඳ,
"මෙහෙ ඇවිත් කොපමණ කල්ද?" ඇසුවා. මාසයක් පමණ බව පැවසූවිට, ඔහු එහි සිටි දෙමළ වෛද්‍යවරුන්ගෙන් ඇසුවේ ඔවුන්ට සිංහල පුළුවන්ද කියලයි. බැරි බව කී විට, මසකින් දෙමළ බස හොඳින් හසුරුවන එක ගැන මට ප්‍රශංසා කරා.
 "බලන්න මේ මිනිස්සු මෙහෙ ඇවිත් දෙමළ ඉගෙන ගෙන වැඩත් කරනවා ඔයාලට සිංහල ඉගෙන ගන්න කිසි උනන්දුවක් නෑ. සිංහල පළාතක වැඩ කරන්න උනොත් කොහොමද ?" කියා ඔහු ඔවුන්ගෙන් ඇසුවේය. හෙදියන්, සාත්තු සේවක , සේවිකාවන් සියලු දෙන දෙමළ බස පමණක් කතා කල නිසා දුරකථනයෙන් වුනත් රෝගියෙක් ගැන පවසන්නේ දමිළ භාෂාවෙන් පමණි. මා ඒ බාධකය ජය ගෙන තිබූ නිසා මට ඔවුන් හා හොඳින් කතා බස් කරන්නට හැකි වුනි. මීට එහා ප්‍රාදේශීය රෝහල් වලින් රෝගීන් පැමිනි විට ඔවුන් හා පැමිණි වෛද්‍යවරුන්, "ඔබේ උපන්ගම මෙහෙද ?"  අසන්නට විය.

 ඒකෙන් මගේ උච්චාරණය හරි බව මට වැටහිනි. දිනක් රෝගියෙක් අසාධ්‍ය වි මීට එහා පිහිටි මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යැවීමට ගිය විට ඇම්බියුලන්ස් රථයේ ප්‍රමාදයකට මා දෙමළෙන් අවශ්‍යතාවය  අසල සිටි ඔවර්සියර් වෙත පැවසූ අතර ඇම්බියුලන්ස් රථයේ රියැදුරාටද ඔහුගේ බසින්ම අවශ්‍ය කාරණය පැවසූයේ ඒතරමට අපට අනිත්කොණ සිටියදී ඒ වැසියන්ගේ බාසාව හුරුවී තිබීම නිසාය. රෝගියා බාරදී ආපසු එන ගමනේදි... රියදුරු මහතා විමසුවේ " ඩොක්ටර් තරහ ගන්න එපා මෙහෙම  අහනවට.. ඩොක්ටර් දෙමළද ? සිංහල ද? "
 "මම සිංහල. ඇයි එහෙම ඇහුවේ" මම විමතියෙන් ඇසුවෙමි.
 " ඩොක්ටර් දෙමළ කතා කරද්දී කියන්න බෑ සිංහල කියලා... මූණත් මේ පැත්තේ පාට නිසා...මම හිතුවේ ඩොක්ටර්ගේ ගම මෙහෙ කියලා"
මට දැනුනේ සතුටකි. ඒ ඔවුන්ගේ බස ඔවුන් වාගෙම හසුරුවන්නට මට හැකි වීම නිසයි. බසයක වුනත්, කඩපලේ වුනත් මට වෙනසක් නොදැනිනි. ඒ භාෂාව නිසා මට ඔවුන්ගේ සමාජය තුලට යෑම පහසු විනි. යුද්ධය ඉවර වූ අලුත අපි එහි ගිය නිසා එහි වාට්ටු වල එකිනෙකා අතර ඇතිවූ නොයෙක් තේරුම් නොගැනීම්, හැල හැප්පීම් වැනි දේ නවත්වන්න එය කදිම රුකුලක් විය.

හදිසි ලෙඩෙක් අරගෙන අගනුවර රෝහලකට ගිය විට, එහි වෛද්‍යවරයා දමිල ජාතිකයෙක් වූයෙන් මා අනිත්කොණේ බව පවසා ඔහු හා කතා බස් කර එන්නට යද්දී, හෙදි සොයුරියන් ඇසුවේ " ඩොක්ටර් දෙමළද ? " කියාය. " මම සිංහල " යැයි පැවසූවිට ඔවුන් කීවේ " අර ඩොක්ටර් එක්කත් දෙමෙළෙන් කතා කල නිසා අපි හිතුවේ ඩොක්ටර් දෙමළ කියලා, ඒත් සිංහල නමක් නිසා අහන්න හිතුනේ" මාසෙන් දවස් කිහිපයක් හැර මුළු මාසය පුරා ඒ බසින් කතා කරන විට දෙමළ හුරු වීම පුදුමයක් නොවේ. දුෂ්කර සේවයෙන් පසු ට්‍රාන්සර් ලබා කොළඹ පැමිණි විට වුවද මුල් කාලයේ නොදැනීම දමිළ බසින් කතා බස් කෙරුනේ ඒනිසා වෙන්නට පුළුවනි. එමෙන්ම දැන් වුනත් වාට්ටුවට පැමිණෙන සිංහල නොතේරෙනම පිරිස් කැඩිච්ච සිංහලෙන් කතා කරද්දී මම ඔවුන්ගේ බසින් කතා කරන විට මුහුණේ ඇති වන සිනහව දකින්නට මම බොහෝ සෙයින් ප්‍රිය කරමි. රාජ්‍ය සේවකයින් හැටියට රටේ ජන සමාජ වල භාවිතා කෙරෙන සියලු භාෂා දැන ගැනීම අප රාජකාරි පහසු කරවන්නක් විය.

Tuesday, September 17, 2013

මතට සිහි නැත්තන්ගේ කියුම් කෙරුම්

අපි වාට්ටුවල වැඩ කරද්දී බොහෝ වෙලාවකට ලෙඩුන් එක්ක ගනුදෙනු කරන්නේ යහළුවන් වගේ. ඒකෙන් ඔවුන් අපි එක්ක වඩා සමීප වෙනවා. අනික් අතට අපි එක්ක ගැටුම් ඇති කරගන්නෙත් නෑ. ඒත් අවශ්‍ය විටක ඔවුන්ට තදින් ඉන්නත් සිදුවෙනවා. ඒ අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස කරගන්න බැරි වෙන විට. ඒවගේම පිරිමි වාට්ටුවල නම්, අරක්කු සිගරට් වැනි දේ හොරෙන් වාට්ටුවට ඇතුල්වෙන ක්‍රම ගැන සැලකිල්ලෙන් ඉන්නවා වගේම , ඇතුලත් වීමේදී සාක්කු පරීක්ෂා කර බීඩි සිගරට් වැනි දේ අප සන්තකයට ගන්නත් සිදුවෙනවා. බොහෝ වෙලාවට අමුත්තන්ට බැලීමට එන්න තියන කාලයේදි, තේ එකක් ගෙනාවත් අප වාට්ටුව භාර හෙදි නිළදාරීන්ට නිළදාරිනියන්ට පෙන්වා යන්න වෙන තත්වයටම මේ හොරෙන් මත්පැන් ගෙන ඒම දරුණු වුනා.

කොන්ඩය දිගට වවාගත් රැවුල් කොට සහිත මුහුණේ තිබුනේ භයංකාර පෙනුමක්. බැලූ ගමන් මට තේරුනේ ඔහු බීමතින් සිටි වගයි. බලෙන්ම වගේ සහායකයන් දෙදෙනෙක් ඔහුව පුටුවට තියා අලවාගෙන වගේ සිටියා. මොනවා කරන්නද , කවුරු ආවත් කොහොම මොන තරාතිරමක කෙනෙක් වුනත් පරීක්ෂා කර බලා බෙහෙත් හේත් කළ යුතුයි. ඒ අපේ රාජකාරියයි. හදවතේ ගැස්ම වේගවත් වීම මට දැනුනත් අනික් අයට දැනෙන්නේ නෑනේ එනිසා නිර්භීතකමක් මවාගෙන මා ඔහු ඉදිරියට ගියා. "මේ මොකද මේ ?" මගේ උස් හඬින් සහායකන් දෙදෙනා ඈත් වුනා. ඔවුන්ගේ මුහුණේ තිබ්බෙත් මහ භයානක පෙනුමක්. අත් වල තැනින් තැන පච්ච කොටා තිබුනා. ඇඳන් සිටි ඇඳුම් වල උනත් මහ නගරං පෙනුමක් තිබුනේ.

"මොකද්ද අමාරුව " මම දෙතුන් වරක් විමසුවෙමි.

" ඩොක්ටර් දැනගන්න එපැයි මට තියෙන ලෙඩේ, මම කියන්න ඕනේද ඒකත් " බීමතින් වැනෙමින් සිටි මොහු හා කතා කර පලක් නොවන බැවින් සහායකයන්ගෙන් විමසූ විට ඔවුන් නගරයේ ප්‍රධාන වෙළඳ පොලේ පිරිසක් බවය. බැලූ බැල්මට වෙළෙන්දන් නොවන බවනම් වැටහුනි.

"ඩොක්ටර් එනවා නේද මාර්කට් එකට " එක් අයෙක් විමසුවේය. ඒ අලුත් හිතවත්කම් හදා ගැනීමටය. "හ්ම්ම්... " මා අපහසුතාවයට පත්වෙනු දුටු විට අප රෝහල් වාට්ටුවේ සාත්තු සේවකයින් දෙදෙනෙකු පැමිණ සහයකයින් පිටමං කළෝය. දෑස් පියැවී හිස පහත් කරගෙන අධික බීමත් කමින් සිටි මොහු හා කතාබස් කිරීම තේරුමක් නැති හෙයින් ඉක්මනින් පරීක්ෂා කළයුතු වූයේ විෂවීමක් වී ඇත්නම් කඩිනමින් ප්‍රතිකාර කළයුතු නිසාය. නම කියා කතා කළ සැනින් අත පය විසිරුවමින් නැගී සිටියේ රණ්ඩුවකට සැරසී ගහ ගන්නට මෙනි. ඒ ඇසිල්ලේ දුටුවේ සාක්කුවෙන් ඉවතට පැන තිබූ උල් පිහියා තුඩක් වැන්නකි. පුද්ගලයා භයානක කෙනෙක් වැනිය. හෙද සොයුරන් පැමිණියෙන් ඔවුන්ගේ සහයද ඇතිව සාත්තු සේවකයා සාක්කු සියල්ල පරීක්ෂා කරන ලදි. කිණිස්සක්, බ්ලේඩ් තලයක්, උල් ආයුධ එක්කම කැරට් අලයක්, මිරිස් කරල් කිහිපයක්ද සාක්කුවෙන් මතු වුනි. සියල්ල අප භාරයට ගන්නා ලදි. ඔහුට අවශ්‍ය හදිසි ප්‍රතිකර්ම සියල්ල කර තත්වය භයානක නොවූයෙන් දැඩි පරීක්ෂාව යටතේ තබන ලදි. මෙවැන්නෝ නිතර මා සේවය කළ කායික රෝග වාට්ටුවට ඇතුල් වෙති. එන්නේ අසිහියෙනි. බාර් එකකට පඩි පත පූදා සිහියත් විකල්ව පැමිනෙයි. සිහිය පැමිණෙන විට එක්කෝ සාක්කුවටම කිසිවෙක් විද ඇති බවක් පවසයි. ගෙදර යන්නවත් සල්ලි නොමැති බව කියයි. ගෙදර අයට දන්වන්න එපා යැයි අයදියි.

මහ රෑ මැද එසේ පැමිණි අයෙක් මහ රෑ ඇඳ මත නැගිට මූත්‍රා කරන්නට පටන් ගත් විට ඔහුව සන්සුන් කළේ නිද්‍රා සහගත බව ඇති කරන ඉන්ජෙක්ෂන් විදීමෙනි. තවත් අයෙක් පරීක්ෂා කරනන්ට යද්දී දකුණු අතෙන් එල්ල කර පහරින් නොවැටී සිටියේ අමාරුවෙනි. සිහිය ආ පසු නම් දොස්තරට පහර එල්ල කළ එක ගැන ඔහු හරිම කනස්සල්ලෙන් පසුවූවා. කිහිප ගමනක් සමාව ඉල්ලුවා. සිහිය විකල්වෙච්චි මිනිස්සුනේ... ඔවුන් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්.

 පපුවේ අමාරුව සමග රෝහල් ගත කළ අයෙක් හවස අමුත්තන් පැමිණ ගිය පසු සිටියේ බොහෝ නොසන්සුන්වය... ගෙදර යා යුතු බවත් මෙහි සිටිමට බිය බවත් පැවසුවේය. හර්දයට රුධිරය සපයන රුධිර නාල අවහිර වීම නිසා ඇතිවන හාට් ඇටෑක් එකක් නිසා ඔහු හිටියේ හෙපරින් නම් පැය හතලිස් අටක් පුරා ශරීර ගත කරන එන්නත් කටු සම්බන්ද ස්වයංක්‍රීය බෙහෙත් පොම්පය සහිතවය. දැන් ගෙදර යා නොහැකි බව කී විට, නොසන්සුන්ව කටුව තමාම ඇද ගලවගෙන ඇඳ උඩට නැග කර්ටන් දමා තිබූ යකඩ සැකිලි ආදාරකයේ එල්ලී වාට්ටුවේ බිත්ති වලින් එළියට පැන්නේ කොරිඩෝවේ තිබූ ඇඳන් වල නිදා සිටි රෝගියෙක්ද පාගමිනි. යන්තම් එළියට දුවන්නට කලියෙන් අල්ලාගෙන විත් ඇඳට තබා බදින්නටත් වූයේ...ශරීරගත කරමින් සිටි බෙහෙත නිසාය. (ඇතැම් විට රුධිරයේ ඝනත්වය අඩු කරන බෙහෙත් වලින් මොළයේ රුධිර නාලිකා පුපුරා ගිය හැක එවිටද නොසන්සුන් හැසිරීමක් හෝ කලබල ගතියක් ඇතිවිය හැකිය) නමුත් ඊළඟ දින ආරංචි වූයේ... පැමිණි හිතවතෙක් ගංජා සහිත මත් ද්‍රව්‍යයක් දී තිබුනු බවය.මුළු රාත්‍රියේ අප සිටියේ අවදියෙනි... ඒ මොහුගේ ජීවිතය බේරා ගැනීමටයි... යම් කිසි විදිහකින් මොහුගේ ජීවිතයට යමක් සිදුවූයේනම් ? එනිසා යුද්ධයෙන් පසු කාලයේ කෙමෙන් ලිහිල් කරමින් සිටි වාට්ටුවල නීති රීති යළි තද කරන්නට සිදු වුනි... වාට්ටුවට ගෙන එන සියලු කෑම බීම අධීක්ෂනය කරන්නට හෙද හෙදි නිළධාරීන්ට සිදු වුනි. ප්ලේන්ටි ආකාරයෙන් ෆ්ලාස්ක් වල මත්පැන් ගෙන එන පිරිසක්ද සිටියෝය. තාවකාලික වින්දනයක් වෙනුවෙන් මිනිසුන් තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සැරසීම ශෝකජනකයි.


ආ අර වෙළඳ පොළේ මනුස්සයා නම් සිහිය ආ පසු බොහොම ලැජ්ජාවෙන් සිටියා, ටිකට් කපන්න කලින් අතුරුදහන් වුනා. හැබැයි පොළේදී දැක්කම නම් නිතර සිනහවකින් සංග්‍රහ කළා. මොනවා කරන්නද ? සමාජයේ සියළු තරාතිරම් වල මිනිසුන් අප වෙත පැමිනෙනවා. හැමෝටම එක වගේ බෙහෙත් කරන්නට සිදුවෙනවා. වරෙක මා ලියූවාක් මෙන් මේ මනුස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්... කියා ගමක කසිප්පු වෙළෙන්දා වාට්ටුවට ගෙන ආවිට අපට ගමේ අයෙක් කිව්වත්, මනුස්ස ජීවිතය සුරැකීමට අප වගකීමෙන් බැඳී සිටිනවා. එනිසා කොයි මනුස්සයත් අපට වටිනා ජීවිතයක්  !