Life, work, stress and Stories from the other end - සායනික සටහන් නොවේ, මේ ජීවිත සටහන් ගොන්නකි....
Pages
▼
Saturday, January 12, 2013
ඉන්දියාවේ සිදුවීම, ෆේස් බුක් හමුවේ හැමදාම ඇහෙන කතා
මට දුකයි....ඒ බොහෝ වෙලාවට මට ඔවුන් වෙනුවෙන් උපරිමය කරන්න බැරි වෙන නිසා. සාධාරණය කරන්න බැරි වෙන නිසා. අපිට සීමා මායිම් ඇඳ පෙන්වා දී ඇති නිසා.
ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ සිදුවීමත් එක්ක ආයෙත් සමාජයේ කතා බහට ලක්වුන මාතෘකාවක් බවට පත්වෙච්චි නමුත් ඒ කොතරම් සුළු කාලයකටද ? මුහුණු පොත නම් අන්තර්ජාල සමාජ වෙබ් අඩවියේ දකින දකින අත මේ අසාධාරණය ගැන විවිධ රූප රාමු පෝස්ටර් පළ වුනාට ඒකත් කොයිතරම් සුළු කාලයකටද ? මට මේ කිසි දෙයක අළුත් වෙනසක් පෙනුනේ නෑ... ඒ මෙවැනි අසාධාරණයට ලක්වූ අපේ මේ රටේ ගැහණුන්, දැරියන් හා ළදැරියන් නිතර දකින නිසා, ඔවුන්ගේ දුක් කඳුළු දකින නිසා ... අවසන ඔවුන්ගේ කතාව අහන්නට වෙන නිසා.
මීට වසර කිහිපයකට කලින් මා ලියූ ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද කතාව ඔබට මතක නැතුව ඇති... අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් මට ඒ හා සමාන සිදුවීමකට මුහුණ දුන් පුංචි දැරිවියන් දෙන්නෙක් මුණ ගැහෙන්නේ හදවතේ රිදෙන්න පුළුවන් උපරිමයට රිදවමින්. අම්මා අගනුවර රස්සාවක් කරන අතර මල්ලිත් නංගීත් බලාගෙන මේ අක්කා සිටියේ තාත්තාගේ රැකවරණයේ... නමුත් අක්කාටත් නංගීටත් ඉතා කුඩා වයසෙදිම තම පියාගෙන් සිදුවුනේ අහස පොළව නූහුලන අපරාධයක් ! "දැන් මිනිස්සු යක්කු වෙලා" කෙනෙක් කියයි. "අසීමිත නිදහස නිසයි මේ, ඉස්සර මෙහෙම නෑ " එහෙමත් අදහසක් මතුවෙයි. "අම්මා නොමැති කල අප්පා කවර කල" කියලා කියන්නේ මේ වගේ තාත්තලාට වෙන්න ඇති. ඒත් මේ කියවන ඔබෙත් මගෙත් මතු බුදු වන තාත්තලා/අප්පච්චිලා වැනි පියවරුන් ලබන්නට අපි කොයිතරම් පින්කර ඇද්දැයි මට යළිත් සිහිපත් වේ.
වයස් සීමාවක් නැතිව සිදුවන මේ දූෂණය කිරීම් කවදා නතර වෙයිද ? "මට කැම්පස් එකේ විභාගේ ඩොක්ටර් පොත් ටික ගෙන්න ගන්න විදිහක් තියෙයිද ? පොත් තියෙන්නේ හොස්ටල් එකේ කාමරේ" තම පෙම්වතා විසින් අතවරයට ලක් වුනු එක් තරුණියක් අපෙන් අසයි. "අපි ඔයාට කොහොම හරි පොත් ටික ගන්න ක්‍රමයක් කියන්නම්" ඉන්පසු ප්‍රජා සෞඛ්‍ය නිළධාරීන්ගේ සහයෙන් පොත් පත් ලබා දීමු. "දැන් මම මොකද කරන්නේ ඩොක්ටර් ?" තම කුසෙහි සිටින දරුවා ගැන ඇය විමසයි. නිසි දැනුමක් හෝ මග පෙන්වීමක් නොමැති නිසා තරුණ තරුණියන් වල්මත් වී ඇත. ලිංගික අධ්‍යාපනය ගැන අප රටේ පවතින බොහොම ඇල්මැරුණු ස්වභාවය මීට බොහෝ ලෙස හේතුවේ. ජන මාධ්‍ය මගින් විශේෂයෙන්ම රූපවාහිනී, අන්තර්ජාලය වැනි දේ මගින් බොහෝ ලෙස හැඟීම් කුපිතකරනු ලැබූ තරුණ තරුණියන් හට ඒ සුළු මොහොතක වින්දනයෙන් අත්වන අතුරු ප්‍රතිඵල ගැන දැනුමක් නොමැති තරම් ය. එසේ නොකර සිටින්නට යැයි අපට කියන්න හරි ලෙහෙසිය. එහෙත් යථාර්තය නම් අප සංස්කෘතික වටිනාකම් හා සාරධර්ම සදාචාර ආචාර ධර්ම යැයි මොන මගුලක් ලෙස ලියූවත් මේ කිසි දෙයක් අද බල පවත්වන්නේ නැති කමයි.
අවුරුදු 5 ක දැරියක් තම අම්මා විසින් රැගෙන ආවේ හිස අත් තබා විලාප තබමිනි. අසල ගෙදරක සිටි දරුවනුත් සිටින අමනුස්සයෙක් විසින් මේ දැරිය අතවරයට ලක් කර තිබිනි. නමුත් ඇය ගේ කෑ ගැසීම් හමුවේ අහල පහල වුන් පැමිණ ඇය බේරාගෙන තිබිනි. අනේ අපොයි... දැඩි දුකක් සහ බයක් ඇතිවේ. මෙහෙම සමාජයකද අපි ජීවත් වෙන්නේ.... ඉස්සරහට මීට වඩා දරුණු වෙයි. එහෙමත් කියවෙයි.
මුහුණු පොතේ, අන්තර්ජාලයේ අපි වීරයන් මෙන් ඉන්දියාවේ තරුණිය ගැනද, තව නොයෙක් අතවර ගැනද ශෝක ප්‍රකාශ ලියන්නෙමු, කවිකාර ඇත්තෝ කවි ලියති. විප්ලවීය අදහස් ඇත්තෝ යුද ප්‍රකාශ කරති . මරණ දඬුවම දේන්න යැයි නියෝග කරති. නමුත් සමාජයක් වශයෙන් අපට පුළුවන් වුනාද අප අවට අපි ජීවත් වෙන ප්‍රදේශයේ ඇති සුරක්ෂිත බව ගැන විමසිලිමත් වෙන්න ? බස් රථයේ හෝ දුම් රියේ , රාත්‍රී කාලයේ තනිව ගමන් කරන්න ? සමාජය යනු අපමය. අප වෙනස් විය යුතුය. අප විසින් ඇතැම් දේ වෙනස් කළ යුතුය. එසේ නැත්නම් සමාජය වෙනස් නොවනු ඇත.
බස් රථයේ මා අසුන්ගෙන යද්දී පොත් බෑගයක් එල්ලාගෙන ඉස්සරහින් සිටගෙන සිටි දැරිවියට හේත්තු වෙන්න ආ මැදිවියේ මිනිසා දුටු මට මහත් කෝපයක් ඇති විය. දෙමළ දන්නා නිසා දැරිවියට කතා කර මා අසළට ඇදගත් නිසා අර මිනිසා මට රවමින් ඔරවමින් ඉස්සරහට ගියේය. එහෙම නොවුනානම් තමන්ගේ අසික්කිත ඕනෑ එපාකම් අර කුඩා දරුවාගේ පිටින් යවන්නට ඒ තිරිසනා කටයුතු කරනවා ඇති.
"වීරකම් කලාට, බහින තැන බලාගෙන ඉඳලා ඇවිත් ඔයාට හිරි හැර කරානම් ! " මගේ යහළුවෙක් එසේ මට අමතක වුනු පැත්තක්ද මතක් කළාය. දින කිහිපයක් යන තෙක් තනියම කොහේවත් නොගිහින් ඉන්න මා වග බලා ගත්තා. බොරු කියන්නේ මොකටද, නොයෙක් විට අනුන් වෙනුවෙන් වීරකම් කරාට, ඒ පළාතෙන් මාරුවී යන තෙක්ම මේ බිය හිතේ පැවතුනා.
photo thanks to ..google search / top news in usa