Monday, February 27, 2012

අනිත්කොණ තනිවුනු ළමා මව්වරුන්...

unmarried, unwanted / teenage  pregnancy යන පාඨයත් සමග  MOMH (medical officer- mental health) , MOMCH (medical officer- maternal and child health) විසින් අප සායන වෙත යොමු කරන එවන ළමා මව්වරුන් දුටු විට සිතට බොහෝ කළකිරීම් ඇතිවේ. අවුරුදු 15, 16 වියේ පසුවන අය (පිසාචයන් මැද ලිපියේ ලියූවාක් මෙන් ) මෙන්ම 18, 19 වියේදී විවාහ වී ගැබ්බරව දරුවන් ප්‍රසූත කිරීමට එන මව්වරුන් මේ ප්‍රදේශවල සීග්‍රයෙන් ඉහළ යයි. මේ ගැන හොයා බලන්නටම ප්‍රොෆෙසර් කෙනෙකුත් මේ ළඟදී මේ ප්‍රදේශයට පැමිණියාලු. මේ ප්‍රදේශ වල වැඩිහිටියන්ගේ නම් අදහස යුද්ධයෙන් නිදහස් වී අවසානයේ අසීමාන්තිකව ලැබුනු නිදහස නිසා මේ තරම් සමාජය පිරිහීමකට ලක්වුනා කියලයි.
මුහුණ දකිද්දීම කුස දරා සිටින බර පොදිය ගැන ඇත්තටම  ඕනෑම කෙනෙක්ට දුකක්ඇතිවේ. ඊළඟ ප්‍රශ්ණය බැඳලාද යන්නයි.
බොහෝමයක් දෙනාගෙන් ලැබෙන පිළිතුර - වයස හරි නැහැ එනිසා රෙජිස්ටර් කරලා නෑ කියලා යන්නයි. මහත්තයා ළඟ ඉන්නවද ඇහුවොතින් එයටද ඔව් කියා පිළිතුරු දෙන්නේ කිහිප දෙනෙයි.

මාලතී අවුරුදු 17 වියැති දැරිවියකි. යුද්ධය අවසානය වන විට ඇයට සහ ඇගේ මවට ඉතිරි වුනේ ඔවුනොවුන්ගේ පිළිසරණ පමණි. යටි බඩේ කැක්කුමයැයි කියමින් රෝහල් ගතවුනු ඇයට ප්‍රසව වේදනා නොවන බව වැටහුනේ පරීක්ෂා කර බැලීමේදීය. සති 29 පමණ වෙන නිසා ඔහොම කැක්කුම් සමහර විට ඇතිවෙනවා කියා පවුල් සෞඛ්‍ය ය නිළදාරිනිය විසින් ඇයට පැහැදිලි කර දෙද්දී වයසක අපේ නර්ස් මිස් පැවසුවේ.. පාසැල් යන වයසේ ඔහොම දේවල් කරගත්තම ඉතින් දුක් විඳින්න තමයි වෙන්නේ කියාය.

"මාලතී ඉස්කෝලේ ගියාද ?"
 " ඔව් ඕ ලෙවල් කරා" ඇගේ ප්‍රතිඵල මා හා කියයි.
 "ඒ දෙකයි බී හතරයි ඉතිරි ඒවා සී " .

"ඉතින් දරුවෝ මේ තරම් හොඳ රිසල්ට්ස් අරගෙනත් ඇයි ඉගෙනීම නතර කර ගත්තේ" මම ඇසුවෙමි.
ඇගේ මව පැවසුවේ... "තාත්තා නැති මේ දරුවා තව තියාගෙන මට රැකගන්න ශක්තියක් නෑ එනිසා එයාගේ මස්සිනාට බන්දලා දුන්නා"
 මා මීට ඉහතදී අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස ලිපියේ ලියුවාක් මෙන් මේ අම්මලාගේ ජීවිත මෙලෙස වෙනස් වීම ගැන ඔවුන්ට දැඩි ලෙස දොස් කියන්නටද නොහැකිය. ආර්ථික මට්ට්මෙන් සහ සමාජ උපකාරවලින් දැනුවත් කිරීම් වලින් අඩු ප්‍රදේශ වල මේ ආකාර දේ සිදුවෙන එක පුදුමයක් නොවේ. දරු ප්‍රසූතියේදී කැක්කුම ඉවසාගත නොහැකි ඒ දරුවන් හඬා වැලපේ. දරුවන් ලැබෙද්දී ඔහොම තමයි කියමින් වේදනා නාශක දෙනවා හැරෙන්න වෙන විකල්පයක් නොමැත. එවැනි දේ කරගත්තේ ඇයි කියා බැන හඬ ගාන්නටද පරක්කු වැඩිය. මේ ප්‍රදේශ වල නව යොවුන් වියේ සිටින දරුවන් මෙන්ම 13, 14 වියේ සිටින දරුවන්ද මෙවැනි දෑ ගැන දැනුවත් කළ යුතුමය. මන්ද ඔවුන් නොදැනීම ඔවුන් අපයෝජනයට ලක්වෙන නිසාවෙනි.

නන්දනී දරු ප්‍රසූතිය සඳහා අපේ රෝහලට ඇතුල්වෙද්දී ඇයගේ කුසට මාස 10 සම්පූර්ණ වී තිබුනි. නමුත් කීසිම දිනක ඇය මාතෘ සායනයකට සහභාගී වී තිබුනේ නැත. මහ රෑ බොහෝ අමාරු ප්‍රසව වේදනා සහිතව පැමිණි ඇයගේ රුධිර ඝණය, රුධිර හිමෝග්ලොබින් මට්ටම හෝ කුසේ ඉන්න දරුවා එක් පාරක් හෝ ස්කෑන් කර බලා නොතිබිනි. සුපුරුදු පරිදි මෙලෙස කරන්නේ ඇයිදැයි දෝස් මුරයක් සමග ඇය ස්කෑන් පරීක්ෂා කරන විට ඇයගේ නෙතින් කඳුළු කැට කඩා හැලිනි. මොකක් නැතත් මේකනම් කරගන්න දන්නවා... සුපුරුදු පරිදි වැඩිහිටි මිස්ලාගේ දෝෂාරෝපණය ඇසේ.

 "අනේ ඩොක්ටර් මම බී ඒ ග්‍රැජුවේට් කෙනෙක්. මම ටීචිං ලැබෙන කම් හිටියේ. "නන්දනී ඇගේ කඳුළු කථාව මා හමුවේ දිග හැරියාය.

පවුලේ වැඩිමහළු දරුවා වන ඇය නොයෙක් දුෂ්කරතා මැද ඉගෙන ගෙන ....... විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් කාලයේ දැන හඳුනගෙන සිටි එහිම ශිෂ්‍යයෙක් සමග පෙම් සබඳතාවක් පවත්වා තිබුනි. මේ අදමයා විසින් ඇගේ අකමැත්ත පිට * (ඇයට අනුව) මේ සා කරදරයක් සිදු කර පසුව ආදරය පිටින් දමා බොහෝ පොරොන්දු දී ඇය ගැබ්බර වූ විට ... මේ දරුවා තමාගේදැයි සැක කරන බව ඇයට පැවසුවාලු.

" පොලිසි යන්නනේ තිබුනේ... " මගේ අදහසය.

"මෙච්චර දෙයක් කරලා එහෙම කැත කතා කරන්න පුළුවන්කමක් තියෙන මිනිහෙක්ගෙන් මොකද්ද ඇති වැඩේ ඩොක්ටර්. මම පුළුවන් විදිහට දරුවා හදා ගන්නවා. මම ගමින් ඈත මේ පළාතේ යාළුවෙක්ගේ ගෙදර නැවතිලා ඉන්නේ බබා ලැබෙනකම්. "

නීතිය අනුව මෙවැනි සිදුවීම් අප රෝහල් පොලීසියට හෝ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ යුතුය. දරුවෙක් තනියම හදා වඩා ගැනීම කළ හැකි නොවෙන බවත් ඇයට මේ සඳහා සාධාරණයක් ඉටු විය යුතු බවත් බොහෝ වෙලා රැගෙන අප පැහැදිලි කර දුන්නෙමු. ඇයට ඒසා අපරාධයක් කළ ඒ මිනිසාගේ මුහුණ බලන්නටවත් අවස්ථාවක් උදාවුනොතින් එය ඇයට කළ නොහැකි දෙයක් බව ඇය පුන පුනා කීවාය. ඇය දරුවා ප්‍රසූත කළ පසු ඉහත සඳහන් අංශ වෙත අපි ඇය යොමු කෙරුවෙමු. දින දෙකක් යන්නට මත්තෙන් ඇය දරුවාද සමග වාට්ටුවෙන් අතුරුදහන් වී තිබුනි.

 උපාධිදාරිනියක් වූ ඇයගේ හෙට දවස යහපත් වේවා යැයි කියා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙනයමක් අපට කළ නොහැකිය. ඒසා කරදරයක් වුනත් දරුගැබ විනාස නොකර රැක ගත් ඒ අම්මා ගැන එහෙම මතකයක් ඉතිරි වෙද්දී සමාජයට මුහුණ දෙන්නට බැරිව, ආර්ථික ප්‍රශ්ණ හෝ සාමාජීය ප්‍රශ්ණ කන්දක් නිසා අන්තිමේ තමන්ගේ දරුගැබ විනාස කරගන්න නොයෙක් නීතිවිරෝදී ක්‍රම උපායන් සහ නීති විරෝදී ගබ්සා මධ්‍යස්ථාන වලට යන අම්මලාද අන්තිමේ බොහෝ කරදර සිදු කරගෙන නතර වෙන්නේ රෝහලේ නාරිවේද වාට්ටුවේ හෝ මෝචරියේය. ඔහොම පැමිණෙන හැමෝටම තිබෙන්නේ එකම කතාවකි. ඉබේ සිදුවීමක් ලෙස අපට කියූවත් පරීක්ෂා කර බලද්දී අලගිය මුලගිය තැන් සේරම අම්මලා එකින් එක හෙළි කරනවා. එවැනි දේ නිසා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කොට එලොව ගොස් මෙලොව ආ අම්මලාද ඕනෑ තරම්. රටේ නීතිරීති පද්ධතියක් තිබුනත් එය සමාජයට කොතරම් අනුගතද යන්න නැවත සොයා බැලීම වටී. නැත්නම් නිරපරාදේ නාස්ති වෙන්නේ නොදැනුවත්කම නිසා කරදරේ වැටෙන ජීවිත පමණි.

ඊළඟට අපේ නාරිවේද සායන වලට සති හයකට පසු පවුල් සංවිධාන ක්‍රම වේදයක් අනුගමන කිරීමට මේ කුඩා අම්මලා පැමිනෙන්නේ අලුත උපන් කිරි කැටියත් කර ගහගෙන. එහෙම පැමිණෙන ඔවුන්ගේ අත්වල ඉන්නේ නොයෙක් විච්චූර්ණ කර අන්දවා ගත් බෝනික්කන් වැනි දරු පැටවුන්‍ ය. දරුවන්ට අධික රස්නය දැනෙන විච්චූරන ඇඳුම් මෙන්ම කණකර ආයිත්තම් පුරවලාය. අර කුඩා ඇඟිළි වලටත් රත්තරන් මුදු පළඳලා.අපේ අවවාද  නිසා ඇතැමෙක් එවෙලේම ඒවා ගලවනවා. ඔවුන්ට දොසක් කියන්නත් බෑ, ඇයි ඉතින් ළමා වියේදී අම්මලා වුනු මේ අම්මලාට මේ දරුවා බෝනික්කෙක් වගේ හැඩ කරන්නට සිත් දීම පුදුමයක් නොවෙයි නේද ?

කිරි පැකට් මෙච්චරකට ඔබලාට අච්චරක් !

ක්ලිනික් දවස කොහොමත් වෙහෙසකර දිනයක්, ක්ලිනික් බොහෝමයකට මා සැරින් සැරේ සේවය කරපු හැම අංශයකදීම වගේ සහභාගි වී තිබෙනවා. සමහර ඒවා රෝහල් වල පැවැතුන අතර තවත් සමහර ඒවා ඉස්කෝල වල , යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශවල පැවැත්වුනා. ඔය හැම එකකටම බෑ කියන්නේ නැතුව සහභාගි වෙන සිරිතක් අපේ තිබුනා.

ඒ අත්‍දැකීම් සොය සොයා යන තරුණ කාලේ, සේවය කිරීමට තිබුනු ඕනෑකම කියලා කිව්වත් නිවැරදියි. හැබැයි ඉතින් රෝහලේ සායන නම් අපි අනිවාර් යයෙන් කළ යුතුමයි. යුද්ධය අවසානයේ කල්මඩු, මඩු, මුලතීවු වැනි ප්‍රදේශවලත්, පසුව දිගු කාලයක් මැණික් ෆාම් වලත් පැවති සායන වලට බොහෝ විට සහභාගි වෙන්නට සිදු වුනේ අපිටයි.

සති කිහිපයකට වරක් එලෙස කොහේ හෝ ඉස්කෝලෙක පවත්වන සායන වලට අපේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යතුමන්ලා සමග අපි සේරම සහභාගි වෙන්නේ ආරක්ෂක අංශවල පූර්ණ අනුග්‍රහය ඇතුවයි. විවිධ ඖෂධ කොම්පැනි වලින් නොමිලේ බෙහෙත් පෙට්ටි ගණන්ද නොයෙක් ආකාරයේ ස්පොන්සර් කිරීම්ද සමග ඈත ඉස්පිරිතාල නොමැති දුෂ්කර පළාත්වලට යන එක ඒ මිනිස්සුන්ට මොන තරම් සේවයක්ද කියලා හිතුනේ ළමයින් දෙතුන්දෙනා වඩාගෙන වැරහැලි වෙච්චි ඇඳුම් ඇඳගෙන පැමිණි ඒ මිනිස්සුන්ව දකිද්දියි. බොහෝමයක් දරුවන්ගේ බඩ ගෙඩි ඉදිරියට නෙරා තිබුනා, මන්ද පෝෂණය මෙන්ම පණු අමාරුවද ඔවුන් අතර සුලභයි.

 සමහර ගම්මාන වල අපේ වාහන බස් පිටු පස්සෙන් දුව ඇවිත් පොදි කකා ඉන්න අතන මෙතන සෙල්ලම් කරමින් හිටි ළමුන් සියල්ලම මොකක් හරි ලෙඩක් කියාගෙන පෝළිමේ පැමිණෙන්නේ, බෙහෙත් බොන්න වුවමනාවටම නොවේ. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට තිබෙන කුතුහලයටයි. එලෙස පැමිණෙන කුඩා දරුවන්ට කිසි ලෙඩක් නැති වුනත් වැහැරුණු ශරීර සහිතව පෝෂණ ඌනතානම් ඕනෑතරම් ඇති බව වැටහෙන නිසා විටමින් පෙති කාඩ් එකක් හෝ සමග ඔවුන් පිටත් කර හරින්නේ පිරිසිඳුකම ගැන දේශනාවක්ද දෙමිනි.

 අපි වාට්ටුවල, මහ රෝහලේ ක්ලිනික් කරද්දී ක්ලිනික් අවසානයේ එළියේ පොදි කකා බලන් ඉන්නේ ඩ්‍රග් රෙප් ලා හෙවත් ඖෂධ කොම්පැණි වල නියෝජිතයන්. ඒ ඔවුන්ගේ ඖෂධ වර්ග ගැන අපව දැනුවත් කිරීමට මෙන්ම අපි ලව්වා ඒ ඖෂධ රෝගීන් හට නිකුත් කිරීමටයි. අප රෝහල් වල, ඖෂධ නාමය මිසක් වෙළඳ නාමය පාවිච්චි නොකරන නිසාත් , ඇතැම් විට ලාබ ඖෂධ වර්ග වෙත්නම් පමණක් වෙළඳ නාමයෙන් ලියා දෙන නිසාත් අපට මොවුන්ගේ ක්‍රියාකාරකම් එතරම් වැදගත් වෙන්නේ නැත.

ඔය කියන දිනයේ අවසර ගෙන පැමිණියේ කිරි පිටි සමාගමක නියෝජිතවරයෙක්. ඔවුන්ගේ පිටි වර්ගය සහ එයින් කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට ලැබෙන පිටිවහල කියවලා කියවලා අන්තිමට ඔහු කියා සිටියේ, මේ කිරි පිටි වර්ගය පමණක් පාවිච්චි කරන්න යැයි අම්මලාට අපි ලියා දුන්නොතින් කොම්පැණියෙන් නොයෙක් වාසි අත්වන බවය. මට නම් එක විටම හිනහා ගියා. එදාවේල කන්න බොන්න සල්ලි නැති මේ කොණේ මිනිස්සුන්ට තව මව්කිරි වෙනුවට මේ කියන අහවල් පිටි එකත් දෙන්න කොහෙත්ම බැරිය.

" මේ දරුවන්ට සාමාන්‍ය පිටි කිරි වේලක් ලැබෙනවාද කියන එකත් සැක සහිතයි ඉතින් ඔබ කියන්නේ මට මේවාගේ අධික මිල පිටි වර්ගයක් ලියා දී ඒ දෙමාපියන්ට තවත් කරදරයක් වැඩි කරන්නද ?" මම ඇසුවා.

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නේ, මේක ලියලා දුන්නොත් ප්‍රෙස්ක්‍රිප්ෂන් මෙච්චරකට මේවගේ ප්‍රතිලාභ ලැබෙනවා, මෙච්චරක් වුනොත් විදේශ සංචාරයකට ස්පොන්සර් කරනවා. " .

" මේ මිනිස්සු දැන් තමයි ටිකක් නිදහසේ ජීවත් වෙන්නේ. බොහෝමයක් අය කරන්නේ කුලී වැඩ. දන්නවාද මේ දරුවන්ට නොයෙකුත් පෝෂණ ඌණතා. මස් මාළු හෝ කොළ එළවළු එදා වේලට එකතු කරගන්නේ හරිම අඩුවෙන් මේ අය. බොහෝ විට, පිටි කෑම වලට හුරු වෙලා. එදිනෙදා දවසේ පඩිය උපරිම රු. 300 පමණ ගන්න මෙවැනි පවුල් වලට අපි කොහොමද අමතර බරක් ඇති කරන්නේ. ඔන්න ඕගොල්ලෝ මේ වගේ අසරණ පවුල් වලට ඔය පිටි එක සහනදායි මිලකට නිකුත් කරනවානම්. එහෙම නැත්නම් තෝරාගත්තු පවුල් වලට නොමිලේ දෙන්න ක්‍රමයක් ඇති කරනවානම් එහෙනම් අනිවාර්යයෙන් ටිකක් සල්ලි තියෙන ආර්ථික අහේනියක් නැති අපි දන්න අයට උනත් මේ පිටි එක පාවිච්චි කරන්න කියන්න පුළුවන් ". මට එවෙලේ ඇතිවුනු සිතුවිලි එහෙම්මම එළියට දැම්මාය.

"ඩොක්ටර් වගේ කවුරුත් කතා කරේ නෑ. ඔහොම හිතන දොස්තරලා ඉන්න එකත් සතුටුයි." ඔහු පැවසීය.

" අපි සතියෙන් සතිය කුඩා දරුවන් වෙනුවෙන් පිට පළාත් වල සායන පවත්වනවා, මේ පළාතේ පාසැල් වල දරුවන්ගේ ඉගෙනීමට දුර්වල දරුවන් ගුරුවරුන් විසින් යොමු කළ විට ඔවුන් සහ ඔවුන්ගේ පවුල් පසුබිම ගැන විශ්ලේෂනය කරනවා. බොහෝමයක් දරුවන් පෝෂණ ඌණතා වලින් පෙළෙනවා. මේ කිරි වීදුරුවකට පෝෂණය විටමින් සියල්ල සපුරන්න පුළුවන්නම් එවැනි දරුවන් ඉන්න පවුල් වලට ඔබලා සහනයක් කිරීමට උත්සහ ගන්න පුළුවන්ද ? අන්න ඒවගේ දෙයක් කරනවානම් මම මේ කිරි පිටි එක  ගැන සල්ලි තිබෙන , ආර්ථික අහේනියක් නැති අය වෙත  කියන්නම් " .

"ඔබ අපිට වෙනස්ම පැත්තක් පෙන්වා දුන්නා. මම මේ ගැන අපේ මැනේජර් සමග කතා බස් කරන්නම්. මේක අළුත්ම ආකාරයක සමාජ සත්කාරයක් වේවි." මා කියූ සියල්ල සටහන් කරගත් ඔහු ඔහුගේ නේම් කාඩ් එකකුත් දී සමුගත්තා.

නමුත් අනිත් කොණ රෝහලෙන් පැමිණෙන තෙක්ම ඔවුන්ගෙන් ආයේ අහන්නට ලැබුනේ නෑ. නමුත් මේ ගැන කාටවත් දොස් කියා වැඩක් නැත. මේ අද සමාජය හැඩ ගැසී ඇති අන්දමය.

මා මේ කතාව මිතුරන් හමුවේ පැවසූ විට " පිස්සු ඩොකෙක් " කියා ඔවුන් කියන්නට ඇති යැයි එකෙක් පැවසීය. මොන තරම් ඇත්තද ? මේ අයුරෙන් සිතීම එක්තරා විදිහක පිස්සුවක් වුවද විය හැකිය.

හැමදාම ලියන්න තරම් කතා ගොඩක් තිබුනත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවක් නැති කමද, එහෙම වෙලාවක් ලැබුනම විදුලිය කැපීම් සිදු වීමද ලැප් ටොප් එක විදුලියෙන් මිස බැටරියෙන් ක්‍රියා නොකිරීමද , අනිත්කොණ කරන්ට් යෑම් ඊම් නිසා හොඳට තිබ්බ බැටරිය පිච්චී යෑමද සිදු විය. බයෝස් ද මොකද්ද මන්දා එකක අවුලක් කියලා කොම්පියුටර් දන්න මල්ලිලා කියන හරුපයක් නිසා ලැප් ටොප් එක ඉබේම ක්‍රියා විරහිත වීම වගේ හේතු ගොඩක් නිසයි මේ තරම් ලිපියක් ලියා ගන්න කල් ගත වෙන්නේ...