Thursday, November 22, 2012

පිටරට ගිය දරුවන් සහ වත්ත පහළ මහළු මඩම...

Love them and care for them now... cause you will miss them once they are gone !

රෝහලෙන් පිටත ......
දන්නා හඳුනන අයියා කෙනෙකුගේ අම්මාගේ මරණයෙන් පසු තුන් මාසේ දානය, අපිත් සහභාගි වුනා. දානය අවසානයේ මතක වස්ත්‍ර පූජාව සහ පැන් වඩද්දී දුටුවේ මේ අම්මාගේ අනික් දරුවන් කිසි කෙනෙක් නෑවිදින් සිටීමයි. දරුවන් හත් දෙනෙක් වදාපු අම්මා මියෙනතුරු රැක බලාගත්තේ ලොකු පුතා හෙවත් අර අඳුරන අයියා සහ ඔහුගේ බිරිඳ, ඒත් මැරුණාට පසු දේපල බෙදාගන්න ආවේ ඈතින් ඉඳගෙන තමන්ගේ පවුල් ගොඩනගමින් සිටි අනෙක් දරුවන්. ඒ වෙනකොට මේ දේපල නොබෙදා තිබුන හෙයින් ඔවුන් දොස් පරොස් වී ගොස් තිබිනි. අන්තිමට අම්මාට මතක පැන් වත් කරන්න හිටියේ එකම එක දරුවයි. ඔහු පැවසුවේ ඒ වන විට සන්තක එකම දේපල වන ඔවුන්ගේ නිවස අම්මාට පිං පිණිස පන්සලකට පූජා කරන බවය.

හැම දාම වත්ත පහළට වෙන්න පිහිටි අල්ලපු ඉඩමක ඇති මහළු නිවාසයේ තනි කර දමා ඇති මහළු මව්වරු ඇවිදිනු දකින වාරයක් වාරයක් පාසා පපුවට සියුම් දුකක් ඇති වෙයි. අද මේ නිවසේ තනිව ඇති සැමියාගේ මව ද මමද ගෙයි පිටිපස්සේ පිහිටි බංකුවේ ඉඳගෙන "අනේ පව් ඒ අය..." කියමින් ඔවුන් ගැන දොඩමළු වෙමු. ඇයටනම් ඇගේ එක් පුතෙකු හෝ නිවසේ සිටින නිසාත් නෑදෑ හිතමිතුරන් නිරතුරු යන එන නිසාත් පාළුවක් නොමැත. එහෙත් මා රැකියාව කරන කාලයේ නම් ගෙදර කිසිවෙකු නැති හෙයින් බොහෝ පාළු බව වැටහේ. අපි පහළ ඉඩමේ නවතා ඇති කාරය දෙසද ඒ දෙසට පැමිණ "අනේ මාව ගෙදර අරන් යන්න පුතේ... " කියමින් වැඳ වැටෙන මහළු මව දෙසද බලා සිටින්නෙමු. "අනේ අර ගෑණු කෙනා අදත් අඬනවා" අම්මා (සැමියාගේ මව) පවසයි.
"මොන හිතකින් ඔහොම දාලා ගිහින් ඉන්නවද දන්නේ නෑ" මට හිතෙයි. අපිට නම් අපේ දෙමාපියන්ට එක් දිනක් හෝ කතා නොකර සිටින්නේ කොහොමද ? නොදැක ඉන්නේ කොහොමද ? සොයා නොබලා ඉන්නේ කොහොමද ? ඇතැම් විට බිරිඳගේ කීම නිසා පවුල රැකගන්න ඔවුන් මෙලෙස තම මවට නොසලකා ඉන්නවා විය හැක. එසේ සිටින පුතුන් ඕනෑ තරම් දැක ඇති නිසා එසේ වීම පුදුමයකුත් නොවේ.

ඊළඟට සින්නම්මා සිහිවේ.වැහි වැඩි කාලෙට මොකක් හෝ බොරු ලෙඩ ගොඩක් ඇද බා රෝහල් ගත වෙන ඇය එසේ එන්නේ ගෙදර කවුරුත්ම නැති නිසා ගංවතුරට බය නිසා යන්න දන්නේ අපි කාර් යය මණඩලය පමණි. ඇඳක් ඇත්නම් විගහින් පැමිණ අල්ලාගෙන සියලු සන්තක දේ ඒ යට ගොඩ ගහගෙන දින ගණනක් සිටින ඈ වැස්ස තුරුල් වීම හෝ වාට්ටුවේ කාර් යය මණ්ඩලය හා බහින් බස් වීම හෝ මේ මොන හේතුවක් නිසා හෝ ඇගේ කැමැත්තෙන්ම පිටව යයි. "මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා නෝනා. ඒත් මාව බලන්න එන්නේ නෑනේ. ඔක්කොම ඉන්නෙ කොළඹ. මමයි මහත්තයයි මෙහෙ තනි වුනා. අන්තිමට මම විතරයි ඉතුරු." ඇයට අනුව සියල්ලන්ම උසස් රැකියාවල නිරතවෙන්නන් ය.

 " මම දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒකයි ඒගොල්ලො හොඳ ඉහළ රැකියා කරන්නේ. ඉගැන්නුවේ නැත්නම් අදත් ඒගොල්ලො මෙහෙ කොහොම හරි කුලී වැඩ කර කර හරි ඉන්නවනේ" ඇය දුක්බරව පවසයි. "ඒත් ඉගැන්නුව එක හොඳයි නේද නෝනා" ඇය අසයි.

 විටෙක දරුවන් මෙහි ඈ සමග නැති වීම ගැන දුක්වෙයි. විටෙක දරුවන්ගේ දියුණුව ගැන පුරසාරම් දොඩා ඇය සතුටු වෙයි. "අඩු තරමේ මේ තරම් උසස් රැකියා කරන දරුවන්ගෙන් එකෙකුට බැරි උනාද මේ අම්මට ඇඳුමක්, කෑමක් , හරියට ඉන්න සල්ලි ටිකක් එවන්න " අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා කියයි.

 ඇත්ත... ඔවුන් තම හර්ද සාක්ෂියට පිටුපා සැපසේ සතුටින් ජීවත් වෙනවා වන්න පුළුවනි ... නමුත් යම් දිනක තම මව විඳි දුක් කරදර මතකයට නැගි කලෙක ඔවුන්ටම ජීවිතේ බොහෝ පසුතැවිලි වන්නට සිදුවෙනවා ඇති. මා කාලෙකට ඉහතදී සේවය කළ මානසික සෞඛ්‍යය ඒකකය මගින් බොහෝ මහළු නිවාස වලට මාසික සායන සඳහා අපව යොමු කෙරිනි. මේ සියල්ලන්ගේම වූයේ යුද්ධයෙන් පසු ඉතිරි වූ වයස්ගත වූවන් සහ දරුවන් අතහැර දැමූ මහළු අම්මලා තාත්තලා. ඔවුන් බලන්න වෛද්‍යවරු එනකම් ඔවුන් කල්ගත කලේ නො ඉවසිල්ලෙන්... ඒ අප ඔවුන්ගේ දරුවන් සේ සිතා අප සමග විහිළු තහළු කරන්නත් අපට අවවාද දෙන්නත් ඔවුන්ට ඉඩ කඩ තිබුනු නිසාය. එසේ සිටි බොහෝ අය ඒ පොල් අතු නිවස්න වල සැප පහසුකම් අඩු ඇඳන් වල වැතිර සිටියේ බොහෝ අසරණවය.

 "මේ අයගේ දරුවන් ගොඩක් ඉන්නේ පිටරට... අඩු තරමේ එක දරුවෙක් ඩොලර් සීයක් එව්වනම් දරුවො පස් හය දෙනෙක් එකතු වුනොත් තමන්ගේ දෙමාපියන්ව හොඳ ගෙදරක , අත් උදව්කාරයෙක් එක්කම තියන්න පුළුවන් නේද ? ඒ අතින් නම් හරිම මෘගයි මේ දරුවන්. ෂික් ..." අපේ ජේෂඨ වෛද්‍යවරයා එසේ ගෝනි කඩමාල්ලක වැතිර සිටි අම්මෙක් පෙන්වා පවසයි. ඇයගේ දරුවන් සියල්ලෝම සිටින්නේ පිටරට ය.

ඒ අතර ඔහු රෝහලේ හතර වෙනි තට්ටුවෙන් වාහනය නැවැත්තුවේය. මහා වැසි මැද්දේ අප බැස ගතිමු. වාහනය පාක් කරන්න තිබුනේ ඊටත් ඉහළ තට්ටුවේය. ඔහු වාහනය පාක් කර පැමිණියේය. ඉන්පසු රෝගීන්ගේ පෝලිමේ ඔහු සිටින අතර මමත් අම්මාත් (ඔහුගේ මව) හිඳගෙන සිටියෙමි. ඊළඟට රසායනාගාර වාර්ථා ගැනීමට ඔහු නැවත පහළට දුවද්දී අප හෙමින් ලිෆ්ට් එකේ ගියෙමු. ඒවා ට රුධිරය දීමට අම්මා එක්කගෙන ගොස් නැවත අප පළමු තට්ටුවේ සිටියදී ඔහු පස්වන තට්ටුවට දිවගොස් වාහනය ගෙන ආවේය. අධික වැසි සහිත වූයෙන් අප වාහනයට ගොඩ වූයේ අමාරුවෙනි. "ඔයා හිටියේ නැත්නම් මම වෙනදට හැම දේම තනියමනේ කරන්නේ " ඔහු පැවසීය.
ඔහු සැම විටම අම්මා කැමති කෑම බීම සොයා බලා ගෙනවිත් තබයි. "පව් අම්මා, අපි පොඩි කාලේ අපිට හැම දේම ඉල්ලනකොට හදලා උයලා දුන්නනේ." ඔහු පවසයි.

" කාගෙවත් උදව් ඉල්ලන්නේ නැතිව අම්මව බලාගන්න එකත් අම්මාගේ සියලු දේ සොයා බලා කරන එකත් ලොකු පිනක් ! ඒ අතින් ඔයා උතුම් මනුස්සයෙක් !
මම ඔහුට නිරන්තරයෙන් පවසමි. දෙමාපියන්ගේ අගය නොදන්නා, ඉන්න ටික කාලයකට හෝ ඔවුන් සන්තෝෂ නොකර දුක් දෙවන , මහළු මව් පියන් අත හැර දමා තමන්ගේ සුඛවිහරණය ගැන පමණක් හිතන මහ ආත්මාර්ථකාමී මිනිස්සුන් පිරුණු ලෝකෙක ඔහු ඉතා සොඳුරු මනුස්සයෙක් වන්නේ එහෙයිනි !

12 comments:

  1. //" මම දරුවන්ට හොඳට ඉගැන්නුවා. ඒකයි ඒගොල්ලො හොඳ ඉහළ රැකියා කරන්නේ. ඉගැන්නුවේ නැත්නම් අදත් ඒගොල්ලො මෙහෙ කොහොම හරි කුලී වැඩ කර කර හරි ඉන්නවනේ" ඇය දුක්බරව පවසයි. "ඒත් ඉගැන්නුව එක හොඳයි නේද නෝනා" ඇය අසයි.//

    දෙමුකෝ උත්තර..?

    ReplyDelete
    Replies
    1. මේක තමා ප්‍රස්නේ හැබෑටම
      දෙමුකෝ උත්තර..... හ්ම්ම්ම්.....

      මේක මනුස්සකම ගැන ප්‍රස්නයක් කියල මට හිතෙන්නේ
      මහ පාරෙදී මනුස්සයෙක් අතින් වැටෙන කඩදාසියක්, සල්ලි කොලයක් ඇහුලල ආපහු දෙන්නේ එහෙමත් කෙනෙක් නේ
      නූමනාව, නොසැලකිල්ල ඔව්වා හොඳට වර්ධනය වුණහම අතෙන්ට එනව ඇති

      Delete
  2. වාසනාවන්ත මවක්... ආදරණීය පුතෙක් ..සොඳුරු බිරිඳක්...
    ජයෙන් ජය.!!

    ReplyDelete
    Replies
    1. මුලු පෝස්ට් එකම වචන කිහිපයකින්!

      Delete
  3. ඔය මහළු මඩම් වලට මමත් ගිහින් තියෙනවා දාන වලට එහෙම... ඒ වෙලාවට මාත් කතා කරලා තියෙනවා අම්මලා තාත්තලා එක්ක සහ දරුවෝ එක්කත්.. මේ අනිත් පැත්තටම කියනවා නෙවෙයි... මට වෙලාවකට හිතෙනවා ඒ අම්මලා තාත්තලා පිට අයට ගොඩක් හොදයි කියලා පෙනුනට පවුල ඇතුලේ ලොකු ප්‍රශ්න හදන අය කියලා...

    එක අම්මා කෙනෙක් ඒ වගේ මාත් එක්ක කතා කළා.. හරිම හොඳ ප්‍රියමනාප කෙනෙක්... මම නිකමට ලේලි ගැන ඇහුවා... ලේලි ගැන කතා කළේ පුදුමාකාර වෛරයකින්... ‌ගෙදරට ආපු දවසේ ඉඳන් එයාලට හරි ගියේ නෑලු... මං ඒ පාර ඒ පුතාගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා.. අම්මා ළමයි දෙන්නගෙන් පුතාට පුදුම ආදරෙයි ලු.. දුවට කුණුහරුපෙන් බනිනවලු... ලේලිත් එක්ක තියෙන තරහ පිට කරන්නේ දුවට බැනලලු.. ඒ වෙලාවේ ලේලිත් ඇවිත් හිටියා... ඒත් එයා කාරෙකෙන් බැස්සේ නෑ... කෑම ටික හදලා එවලා තියෙන්නෙත් ලේලි.. ඒත් අම්මට ඒ ලේලි හදපුවා කිව්වනං විසි කරනවලු... දුවට බනින එක හින්දලු නිවාසෙට ගෙනත් දැම්මේ....

    ඔහොම අයත් ඉන්නවා ඉතිං.... ඒත් ගොඩක් අය නම් අහිංසක අය තමයි....

    ReplyDelete
  4. දෙමව්පියන්ගෙ වටිනාකම නොදන්න කෙනෙක්ට මනුස්සයෙක් කියල කියන්න බෑ අක්කා. කොච්චර අපහසුතා තිබ්බත් කාර්යබහුල උනත් ඒ කිසිදෙයක් නිදහසට කරුණු නෙවෙයි. ගොඩක් සංවෙදී ලිපියක් අක්කා.
    මේ සම්බන්දයෙන්ම මම ටික කාලෙකට කලින් කතාවක් ලිව්වා, කැමති අයට බලන්න ලින්ක් එක දාන්නම්

    http://gimanhalablog.blogspot.com/2012/06/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි. දිගු කලක් නොලියා සිටි අතර කියවන්නවත් පුළුවන් වුනේ නෑ. අන්තර්ජාලයේ බ්ලොග් අතරට ආවේ මාස 2 විතර හේතුව වැඩ අධික කම, ලෙඩ වීම සහ නොයෙක් වගකීම් වැඩි වීමයි. ඒගැන සමාවෙන්න. මම මේ කතාව කියවන්නම්... ඔබේ ලින්ක් එක මත ක්ලික් කරාට වැඩ කරන්නේ නෑ. කොපි පේස්ට් කරගෙන තමයි බලන්න පුළුවන්.

      Delete
  5. අතලොස්සක් දුර්ජනයින් අතරේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. සමහර වෙලාවට දෙමාපියන් සහ සහකාරයා/සහකාරිය අතර අතරමං වෙන මිනිස්සු මම දැකල තියෙනවා. තමුන්ගේ අම්මාට තාත්තාට දෙවියන්ට වගේ සලකන කෙනා බිරිඳගෙ/සැමියාගෙ දෙමාපියන්ට සලකන්න ඉඩ නොදෙන අවස්තා එමටයි..මෙහෙම උනාම ගැහැනියක් බොහොම අසරණ වෙනවා. මිනිහෙකුට උනත් දුශ්කර අවස්ථාවකට මුහුන දෙන්න වෙනවා. අම්මාට තාත්තාට සලකන්න ඉඩ නොදීම මූලික හේතුවක් වෙලා කැඩුණු පවුලක් ගැන මම දන්නවා. ඔහු මගේ මිතුරෙක්. මව අසනීපවූ බව දන්වා එවූ ටෙලිග්‍රෑම් පවා ඇය ඉරා දමලා. මවගෙන් ආඅ ලිපි බොහොමයක් ඔහුට හමුවී තිබෙන්නේ අල්මාරියක් යටට විසිකර තිබියදීයි.. මේ ක්‍රියාවලියට ඇයගේ මව සහ පියාත් හවුල් වෙලා. අන්තිමට ඔහු ඇයගෙන වෙන් වෙනවා. ඉන් පස්සෙ අම්මාටත් තාත්තාටත් සලකන්න කාලය යොදවනවා. කොටින්ම ඔහු නැවත විවාහ නොවී ඉන්න තීරනය කරනවා. ඔය විදිහට තීරණ ගන්න හයියක් හැමෝටම නැහැ. සමහර වෙලාවට දරුවන් නිසා අසරණ වෙනවා. මේක කියවන බොහොමයක් අය මං කියන අවස්තා දැකලා ඇති.. කොහොම උනත් තමුන්ගේ දෙමාපියන් නොසලකන තනැත්තා දුර්ජනයෙක්.. එහෙම කරන කෙනාට තවත් කිසිම කෙනෙකුට හැබැහින් ආදරය කරන්න බැහැ..
    එවන් මිනිසුන් අතරේ ඔබලා හැමෝටම ආදර්ශයක්..

    ReplyDelete
    Replies
    1. මා දන්නා බොහොමයක් අයත් බිරිඳ හෝ සැමියා නිසා තම දෙමාපියන්ට සලකගන්න බැරි වුන.. ඒ වගේම දරුවන් සිටින නිසා පවුල කඩා ඉහිරවාගන්න බැරි අයයි. සමහර වයසක අම්මලා තාත්තලා කියන්නේ අපිට මොනවා උනත් කමක් නෑ.. පුතාගේ පවුල රැක ගන්න කියලයි. ඒත් දරුවන් නොදැකීම හෝ කතා නොකිරීම ගැන සිත් තැවුලෙන් පසුවන මව්වරු පියවරු නිතර ඇස ගැටෙන නිසා ඔවුන්ගේ වේදනාව දුටුව විට දැඩි දුකක් ඇති වේ. ඔබේ යහළුවා ගත් තීරණය කොච්චර උනත් හොඳයි කියා සාධාරණීකරනය කරන්න පුළුවන් මොකද පුතෙක් තමයි දන්නේ තමන් වෙනුවෙන් කොච්චරක් නම් අම්මා තාත්තා කැපකිරීම් කරන්නට ඇද්ද කියා. ඒ අතින් මම නම් වාසනාවන්තයි.

      Delete
  6. තමන්ගෙ වියපත් දෙමව්පියන් වියපත් වූ විට මහලු මඩම්වලට බාර දෙන දරුවන් සමාජයේ ඉන්නවා. හැබැයි ඔවුන් එහි තිබෙන පල විපාක ගැන දන්නේ නැතුව ඇති.ඒ දරුවන්ගේ දරුවනුත් යම් දවසක ඔවුන් මහලු මඩමකට යොමු කලොත් එදාට දැනේවි මවි පිය සෙනෙහසක අගේ..

    ReplyDelete
  7. තමුන්ගේ දෙමව්පියන් තමන්ට සැළකුවානං ආයේ ඒ අයට නොසළකන එක තරං අසමජ්ජාති වැඩක් නෑ.හැබැයි දරුවන්ට නොසළකා පස්සේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන ඈයොත් මම දැකලා තියෙනවා.

    ReplyDelete
  8. අනිත් කොණ දකින්න ලැබීමත් සතුටක්. අපිත් මේ දවස්වල ලංකාවේ ඉන්නෙ නිවාඩුවට ඇවිත්. අසනීපවෙලා හිටියා කියලා තියෙනවා දැක්කා.
    මමත් මගේ ඩෙනිම කියලා අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා. පහල ලින්ක් එක ඔබලා බලන්න.

    ඔයා ලියලා තියෙන කතාව නම් අපේ සමාජයේ තියෙන බිඳවැටීමක්. කෙලෙහිගුණ අමතක කිරීම තම්යි ඉතින්. ඉණිමගට පයින් ගැහීමක්නෙ ඔය.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !