Tuesday, September 27, 2011

ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence !

 ජීවිත් විය නොහැක,  එහෙත් ජීවිතය අත් හැරිය නොහැකිය
ආපසු හැරෙන්නට නොහැකිය, දිවි නසා ගන්නටද නොහැකිය..

මේ ලිපිය ලියන්නට පෙළඹුවේ පසුගිය කාලයේ මගේ හිතට වද දුන් එක්තරා ඛේදජනක සිදුවීම් පෙළක් නිසාය.

1.මගේ හොඳම මිතුරියක් සිටියාය. ඇය මේ කාලය වන විට නව මසැති ගැබිණියකි. මට කතා කර විමසුවේ ඇය සමග දොස්තර ළඟට යා හැකිද කියාය.
මේ වන විට ඇයට අවුරුදු 2 දුවක සිටින අතර ඇගේ සැමියා සිටියේ වෙනතකය. එනම් අන් ගැහැණියක හා හාද වී ඇගේ ඇසුර පතා ඔහු ඇය අත හැර ගොස් සිටීයේ ඇය සිටි තත්වය හෝ සැලකිල්ලට නොගනිමිනි.

අමාරුවෙන් රථය පදවාගෙන පැමිණි ඈ ඉන් එළියට බැස බඩත් උස්සාගෙන පැමිණියේ අමාරුවෙනි. කැම්පස් යන කාලේ හාද වූ මේ දෙදෙනා අතර මෙතරම් විරසක වීම් සිදු වූයේ කෙසේදැයි පුදුමයකි.
"මම ඒ මිනිහට ඕනෙ මගුලක් කරගන්න කියලා ඩිවෝස් එක දෙනවා" ඇය කතා කලේ පුදුමාකාර වූ කළකිරීමකි.
ආදරයක් නැතැයි ද, දැනෙන්නේ නැතැයි ද, ආලය හීන වී ගොස් ඇතැයි ද ඔහු නොයෙක් වර පවසා ඇත.

පෙරදින ආලයෙන් මුසපත්ව නොයෙක් බස් තෙපලූ, පෝරු මස්තකයේ විවාපත් වී වසර 5 ඉක්මගිය තැන වෙන කතකගේ පහස සොයන් තම දෙ හැවිරිදි දරුවාත් ගැබිනි බිරින්දෑත් අතරමං කරන මිනිස් සිතක අරුමය විමසමින් මගේ යෙහෙළිය ලතවේ. බොහෝ වෙහෙසකර ඈගේ දෑස් වල හඬන්නට කඳුලක් නොමැති තරම් ය. පොදුවේ පිරිමි සංහතිය වෙතම ද්වේශයක් මගේ සිතෙහි ජනිත වේ.

පසුගිය දිනක නැවත ඇය කතා කරේ දහවල් එකට පමණය. "මම පාලිමන්ට් රෝඩ් එකේ එද්දි ඩ්‍රිබ්ලින් ඒපාර වාහනේ නවත්තලා ත්‍රීවිල් එකක කාසල් එකට ආවා. පුළුවන්නම් මට සුප් එකක් අරගෙන එන්න"  ගැබිණි ඈ තම දෙහැවීරිදි දරුවා සමග තනියම කාර් එක එළාවගෙන යන අතරේ ඇයට ප්‍රසව වේදනා දැනී ඇත.ඇය දරුවා ප්‍රසූත කළේත් අන් කටයුතු කරගත්තේත් රෝහලේ යහළුවන් දෙමාපියන් ගේ උදව් උපකාර සහ සෙනෙහස මධ්‍යයේය. අර අධමයා පැමිණියේම  නැත.


මට සුමිත්‍රා පීරිස් ලියූ "අග පිපි මල්" නවකථාව සීහි වේ.එහි එක් තැනක අමා මෙසේ සිතයි...


"අතිශය සුන්දර වූ යෞවනයක මිහිරී මතකය මුදා හැර වල්මත් වන්නට තරම් අසිතගේ සිත දැඩි වූයේ ඇයි දැයි ඇයට වටහා ගත නොහැකි විය. මුනිවත රැකීමෙන් ආරම්භ වූ අසිතගේ පරිවර්තනය, නොරිස්සුම , කෑ මොර ගෑම දක්වා වර්ධනය වන විට තමා උගත් සියලු දේ අමතක කර දමමින් පිළියම් සොයමින් උස් පහත් සියලුම තැන් වන්දනා කළ ආකාරය ඇයට සිහිපත් විය. සෙත් ශාන්ති, යැදුම් වැඳුම් කිසිවක් පල නොදී අසිත තව තවත් දැඩි වී දින ගණන් නිවසට නොපැමිණෙන්නට වූ කල හැඬුම , වේදනාව මිස අන් කිසිවක් තමාට දිරියක් වශයෙන් ශේෂ නොවීය. එහෙත් අසිත සඟවා ගත්තේ බලහත් කාරයෙන් එසේ නැතහොත් යැදීමෙන් , හැඬීමෙන් යළී ලබා ගත හැකි දෙයක් නොවේ."  උපුටා ගැනීම... අග පිපි මල් නවකතාව

මගේ යෙහෙළිය මා ඉදිරියේ දිග හරින්නේද එවැනිම කතාන්දරයකි.

සංවර නොවූ සිතකට අයාලේ යන හිතකට තමන් කලින් විඳි සොඳුරු ගැහැණිය තනිකොට දමා විඳවන්නට දුක් වෙන්නට හැර දමා යා හැක්කේ කෙසේදැයි මට නොතේරේ. නමුත් පොදුවේ සෑම පිරිමියෙක්ම මේ වාගේ නොවන බව මම දනිමි.

2. මාලනී අම්මා (මෙය අනවර්ථ නාමයකි) අපේ වාට්ටුවට ඇතූලත් කරේ අධිකරණය මගින් දුන් නියෝගයකින්. ඇය මෙතෙක් ජීවත් වුනේ කොළඹ රැඳවුම් නිවාසයකයි. ඇයට මානසික රෝගයක් ඇති නිසා ඇගේ සැමියා ඇයව ඇයටත් නොදන්වා දික්කසාද කර තිබිනි. උසාවි නියෝගය මත ඇයව රෝහල් වාට්ටුවට එවා තිබුනේ උසාවියේ කලබල කර නිසාය.
"මහත්තයා නැතිව දරුවො නැතිව මේ වගේ දරුණු තීරණ විඳ දරා ගන්න වුනහම හොඳින් ඉන්න අයටත් පිස්සු හැදෙන්නෙ නැද්ද ?" ඇය අපෙන් විමසයි.

අවුරුදු 16 සහ 15 දරු දෙදෙනාද වැර වීර්‍යයෙන් ගොඩනගා ගත් නිවසද අත හැර හතලිස් අට හැවීරිදි වියේදී කාත් කවුරුවත් නැති අසරණියක් ලෙස ආණ්ඩුවේ රෝහලක සෙවන ලබමින් ජීවත් වේ. ටවුමට ගිය විට ඇය සිහිවී දිග හවුස්කෝට් ගවුම් කීප වර ගෙනැවිත් දූන්නෙමි. එවිට ඇයගේ නෙතු අගට කඳුළු එකතු වූ හැටි දුටිමි. හරී නම් ඇය බලා කියා ගන්න ඕනේ ඇගේ ස්වාමියා නොවේද ?

අග පිපි මල් හි අමා ද දරු දෙදෙනා සමග තනිවූවාය. නමුත් මේ අම්මා දරුවන්ද අහිමිව තනිවී මානසික රෝගී යන ලේබලයද අලවාගෙන අසරණව සිටී.  නඩූ වාර කිහීපයක් පසු විය ඇගේ ස්වාමියාද දරුවන්ද ඇය බලන්නටවත් පැමිණියේ නැත උසාවි පැමිණියේද නැත. එවර අපේ එක් වෛද්‍යවරයෙක් ඔවුන්ගේ ගෙදරටම ගොස් යුතුකම් වගකීම් මෙන්ම මනුස්සකමද ලුණු ඇඹුල් ඇතිව පවසා පැමිණියේය. එවිට ඊළඟ නඩුවාරයේදී ඔවුන් උසාවි පැමිණියෝය. නඩුකාර උන්නාන්සෙද මිනිස් ගුණධර්ම සහ සාරධර්ම ගැන හොඳ දේශනාවක් කලාලු නමුත් අර මිනිස්සුන්ගේ හිත්නම් වෙනස් වුනේ නැත. දරුවන් පසු පස දුවන අම්මාද අම්මාගේ අත ගසමින් වේගයෙන් ඇවිද යන දරුවන්ද සැමියාද දුටු විට ඇය උසාවි ගෙන ගිය අපේ හෙද සොයුරියට හැඬුම් ආ බවත් ඇයද ඔවුනට කිව යුතු දෑ කියා පැමිණි වගත් පැවසීය.


3.සෙල්වි, අප වාට්ටුවට ඇතුල් කරේ කතා බහ අඩුවීමද ඔහේ කල්පනා කිරීමද කෑම අරුචිය සහ නිදි මත නො ඒම යන කාරණා සමගය. ඇය සමග කතා බස් කරද්දී වැටහුනේ, ඇගේ සැමියාට දාව අන් කතකට දෙමස් වියැති දරුවෙක් ඇති බව ඇය දැන ගත්ත දා පටන් මේ අමාරු ඇති වූ වගය. ඇයටද දරුවන් දෙදෙනෙකි. සැමියා මේසන් බාස් කෙනෙකි. දැන් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙකි. සෙල්විට තනිව හීඳිනාවිට නොයෙක් සද්ධ සහ කතාබස් ඇසෙන බව කීවේ අද උදයේය. දැනට ලෝකයේ ජීවත් නොවන ආගමික නායකයින් පැමිණ ඈ සමග කතාවස් කරන බවත් සැමියා විසින් ඇයට දුන් දුක ටිකෙන් ටික එමගින් පහව යන වගත් කියයි. සෙල්විගේ සැමියා ඇය රෝහල් ගත කර බව අසා පැමිණ ඉහ අත් ගසාගෙන වැලපේ. ගැහැණු දෙදෙනෙකුගේ ජීවිත අඳුරේ හෙලන්න හැඟීම්වලට වහල් වූ මේ මිනිසාට හැකිවූයේ කෙලෙසද
ඉඳින් හුදෙක් ඉඳුරන් පිනවීමටම පමණක් ජීවත් වෙන්නන්ගෙන් මීට වඩා යමක් බලා පොරොත්තු විය හැකිද ?

ඒ එක්කම ටී. බී ඉලංගරත්නයන්ගේ මා සිත් ගත් පොතක් වන "තිලක හා තිලකා " පොතේ එන කොටසක් මතකයට නැගේ
........තමා එදා සිට බාරගත් වගකීම් ගැන තිලකට සිතුණේ ය. තිලකාට දුකක් නො වන සේ සිය ජීවිතය හැඩ ගස්වා ගන්නට හැකි වේ ද ? ඇගේ සිත  නො රිදෙන්නට, ඇයට සැප පහසුකම් සලසන්නට, දරු මල්ලන්ට තමාගේ යුතුකම් ඉටු කරන්නට ඔහුට හැකි වේද ? ..... පිටු අංක 14



4. බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.

 ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි.

වරද ඇත්තේ කොතැනද මට නො තේරේ.

Wednesday, September 14, 2011

ස්ටෙත් එක අරන් රෝහලට ආ තරුණිය...

තමන් වෛද්‍යවරියක යැයි කියා ගන්නා, කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ගත් බව කියූ ඉංග්‍රීසි හෝ සිංහල තියා වෛද්‍ය විද්‍යාවේ වචන කීපයක් හැරෙන්න මෙලෝ මගුලක් නොදන්නා තරුණියක් රෝහලට ස්ටෙතසයක් රැගෙන පැමිණ සති කිහිපයක් තිස්සේ , වෛද්‍යවරියක ලෙස රඟපෑමේ යෙදෙද්දී , වෛද්‍යවරුන් වන අපම ඇයව අල්ලා ගත් අන්දම පෙර ලිපියකින් විස්තර කළෙමි. නොකියවූ අයට ලින්ක් එක  මෙන්න !

"ඔබ වෛද්‍යවරියක් බව ඔප්පු කිරීමට හැඳුනුම්පතක් තිබේද ?" අපි ඇසුවෙමු.
එවැන්නක් නැතී බව ද ගෙදර ඇතී බවද  ඒ තබා ජාතික හැඳූනුම්පතව්වත් ඇය ළඟ නැති බව ඇය පවසයි. සියලූ කතා බහ දමිළ බසිනි.
එසේනම් අප ලොකු දොස්තර මහතා හමුවිමට අප සමග එනවාදැයි ඇගෙන් ඇසූ විට එයටද ඇය එකඟ වුනාය. ඇය ගේ මහා බර බෑග් එකත් රැගෙන අපි වෛද්‍ය අධිකාරී තුමා වෙත ගියෙමු, යන අතරතුර පහළ තට්ටුවේ පිහිටි හමුදා පිරිස් සිටි මේසය වෙතද මෙවැනි සැක කටයුතු කෙනෙක් රැගෙන අපි යන හෙයින් හදිස්සියක් වුනොතින් ඉක්මනින් පැමිණෙන ලෙස දැන්වූවෙමු.
"මේකේ බෝම්බ ද දන්නේ නෑ" අමාරුවෙන් ඇගේ බෑගය රැගෙන යමින් සිටි මගෙන් එය ඉල්ලාගත් අයියා පැවසුවේය.
කිසිදාක දැක නොමැති තරුණියක් වෛද්‍ය අධිකාරී තුමා වෙත රැගෙන යනවා මෙන්ම, ඇය පැන යා හැකි නිසා,  ඇගේ බෑගයද ඉල්ලාගෙන ඔසවාගෙන යමින් සීටී අප ගැන මට පුදුම සිතිනි. පසුගිය කාලයේ නම් මෙවැනි කෙනෙක් දුටු පමණින් කත බස් කිරීම පවා අසලටවත් නොගොස් බියෙන් තැති ගැනීමට පුරුදු වී සිටි අපටනම් දැන් එවැනි බියක් කිසි විටෙකත් නොදැනෙයි. ඒ අපේ ත්‍රිවිද හමුදා සහ පොලීසිය මේ පෙදෙස් එවැනි අඳුරු කාලයකින් මුදවාගෙන මෙහි වැසියන්ට මෙන්ම සේවය කරන අපගේද සිත් වලට සැනසීම ගෙන ආ හෙයිනි.

ඉරිදා මධ්‍යහනද පසුවී තිබිනි, සර් එනතුරු අපට ඇය සමග රැඳෙන්නට සිදු විනි. ඒ අතර තුර අපි දිගටම ප්‍රශ්ණ කරගෙන ගියෙමු. දන්නා හඳුනන හැමටම කෝල් කරමින් , ඇය සඳහන් කළ ඇගේ නමින් මේ අවුරුදු 10 ටම එවැනි සිසුවියක් කොළඹ හෝ යාපනය විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබ නොමැති බව සහතික කර ගත්තෙමු. ඒ බව ඇයට කියද්දී පවා ඇය පැවසුවේ, නෑ මම කොළඹ ෆැකල්ටි එකේමයි ඉගෙන ගත්තේ.  අහවල් ඉස්පිරිතාලේ ෆ්‍රී ඉන්ටර්ස් කරනවා, ෆාමටෝලොජික් නෝට් ඉල්ල ගැනීමට මෙහි ආවේ" කියමිනි. ( ඇය සඳහන් කල ෆ්‍රී ඉන්ටර්ස් යනු සීමාවාසික පත්වීම් ලැබෙන්න කලින් වෛද්‍යවරුන් හඳුන්වන නම ය pre - intern , ඇය ෆාමටොලොජික් කියා කීවේ අප pharmacology යනුවෙන් හඳුන්වන විෂය ය. ඇය මේ වචන කොහෙන් හෝ අසා කියවනා මිස දැනගෙන කියවන්නක් නොවන බව අපට වැටහිනි )

"හරි එහෙනම් අවසාන විභාගයට කරපු විෂයන් ටික කියන්නකෝ " අපේ කෙනෙක් විමසයි.

"බයෝ කෙමිස්ටි, මයික්‍රොබයොලොජි, ෆිසියොලොජි, ෆාමටොලොජික් " ඇය පැවසීය.

අප සියල්ලන්ටම මැයනම් කොහෙන් හෝ අසා දැන ගත් දෙයක් මිස කොළඹ තියා මොනම ෆැකල්ටියකවත් ඉගෙන ගෙන නොමැති බව වැටහිනි. අවසාන වසරේදී කරනු ලබන විෂයන් ඇය සඳහන් කළ ඒවා නොවේ. ඒ සියලු විෂයන් කරන්නේ පළමු වර්ෂ දෙක තුලදීය.

හරි කොළඹ ෆැකල්ටි එකේ අසවල් විෂය උගන්වන ප්‍රොෆෙසර්ගේ නම මොකද්ද?
තව කෙනෙක් ඇසුවේය. " සුසන්තිකා " ඇය පිළිතුරු දුන්නාය.
"කවුද සුසන්තිකා..... සුසන්තිකා ජයසිංහද ? " අයියා විමසුවේය.
"ඔව් ඔව් සුසන්තිකා ජයසිංහ" ඇය යුහුසුළුව පිළිතුරු දුන්නාය. ඇයට මද අස්වැසිල්ලක් දැනුනු බව මුහුණින් පෙනිනි. ඒ ඇය කියූ දෙය හරි ගියා යැයි ඇය සිතූ නිසාය. නමුත් අප නම් සිනහ නොවී සිටියේ ඉතා වැර වෑයමිනි.
"අනේ මම ගෙදර යන්න ඕනේ මම ඇත්ත කියන්නේ. මම ඩොක්ටර් කෙනෙක් තමයි. මේ මගේ ස්ටෙප් එක"
වෙද නළාව පෙන්වමින් ස්ටෙප් එක කියද්දිනම් අපිට සිනහව වලක්වාගත නොහැකි විය.

අප අසන ප්‍රශ්ණ හමුවේ තමන්ගේ බොරු හෙළි වන බව දැනගත් ඈ අඬන්නට විය.

ඉන්පසු දිගින් දිගටම අපි ඇයට පැවසුවේ ඇය වෛද්‍යවරියක නොවන බව අපට වැටහී අවසාන බවයි. එමෙන්ම ඇය සේවය කරනවායැයි කී අදාල රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැනගත්තේ එහෙම ප්‍රී ඉන්ටර්න් කිසීවෙක් ඒවායේ වැඩ නොකරන බවයි. මේ තැනැත්තිය ඇත්ත සඟවන බව වැටහෙද්දී අප කළේ පොලිසිය වෙත බාර දීමය. එහිදී ඇගේ සත්‍ය නම් ගම් සහ විස්තර දැන ගන්නට ලැබිනි. ඒ වගේම ලොජ් වල රිසිට් , බිල්පත් බොහෝමයක් දැකගන්නට ලැබිනි. යාපනය පුස්ථකාලයෙන් සොරකම් කරන ලද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහ බරැති ඉංග්‍රීසි පොතක්ද විය. එතෙක් යන එන තැන මිනිසුන්ව මුලා කිරීමට එයද යොදාගත් බවට සැක නැත. නිරන්තරයෙන් ඇගේ දුරකතථනයට කතා කල එක අයෙක් පැවසූවේ. ඇය වෛද්‍යවරියක් බව පැවසූ බවය, ඇය බස් එකේ ගිහින් තිබුනේත් ස්ටෙතස්කෝප් එක අතේ අරගෙනය.
ඒ කතා කල පුද්ගලයා අන්තිමට විමසුවේ "ඇත්තටම එයා ඩොක්ටර් කෙනෙක්ද ?" කියායි.

වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවෙන් ආහාර ගෙන තිබුනේද ස්ටෙතස්කෝප් එකේ පිහිටෙනි. එමෙන්ම රෝහලේ ඇය සැරි සැරූ වාට්ටු ගැනද ටිකෙන් ටික රෝහල් කාර්යය මණ්ඩලයෙන් හෙළි විනි.  ඇතැම් වාට්ටුවල සිටින දොස්තරලාගේ නම් ගම් විමසා ටෙලිෆෝන් නොම්මර පවා ඇය ඉල්ලාගෙන දුරකථනයට දමාගෙන තිබුනේ , අර ස්ටෙත් එක මගින් අපේ හෙදි සොයුරියන්වත් රවට්ටමිනි.  ස්ටෙත් එකක් නොව උපාධි සහතිකය අතේ අරන් ආවත් පිට කෙනෙක්ට රෝහලේ වාට්ටුවල දොස්තරලාගෙ නම් ගම් හෝ දුරකථන නොම්මර නොදෙන ලෙස අපි ඔවුන්ව දැනුවත් කළෙමු

මට සිතෙන්නේ සමහර විටක ඇය මානසික රෝගයකින් පෙලෙන්නියක් විය හැකිය. සමහර විට අප නොදන්නා ජාවාරමක් ස්ටෙත් එකත් පොතත් සමග වෛද්‍යවරියක ලෙස සමාජයේ පෙනී සිටිමින් කලාද සැක නැත. එයින් අපේ සිත් වලටනම් අවිනිශ්චිත බවක් සහ බියක් ඇතුල් විනි. ඕනෑම රෝහලක මෙසේ විය හැකිය. මෙසේ රඟපා ඕනෑ තරම් ලෙඩුන් අසරණයින් මෙන්ම සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක අය මුලා කල හැකි නොවේද ?

හරියට උපාධියක්වත් නැතිව බෙහෙත් කරන හොර වෛද්‍යවරුන් හෙවත් quacks ලා ඕනෑ තරම් ලංකාවේ හතර දිග් භාගයේ සිටිති.  එවන් හොරුන් ගේ බොරු වෙදකම් නිසා ලෙඩ උත්සන්න වී අන්තිමට රජයේ රෝහල් වලට ගෙනෙන රෝගීන් ගණන විශාලය.

නළාවක් අතින් ගත් පමණින් කිසිවෙක් වෛද්‍යවරයෙකු නොවන බව මහජනයා වටහා ගත යුතුය.වෙද සිසුන් නම් සුදු කෝට් එක පිටින් එහෙ මෙහෙ පාරවල් දීගෙත් යන වග අපි දැක ඇත්තෙමු. නමුත් මා දන්නා තරමින් වෛද්‍යවරුන් කිසිවෙක් ස්ටෙත් එක බෙල්ලේ එල්ලාගෙන පාරේ ගමන් කරන්නේ නැත.
එමෙන්ම අහිංසක රෝගීන් බලන්න එන සෙනගට සත්තම දාන අතරෙම රෝහලේ වැඩකරන වෛද්‍යවරුන් කවුරුන්ද ඊළඟට අමුත්තන් දුටුවොත් කරන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස අපි ආරක්ෂක මහතුන්ටද හොඳ දේශනාවක් කළෙමු. පෙර කලෙක මෙවැනි සිදුවීමක් උනානම් අප සියලු දෙනා භය බිරාන්තවෙනවා නො අනුමානය.

කොහොම උනත් තවමත් අපට තිබෙන නොවිසඳුන ප්‍රශ්ණය ඇය වෙස් වලාගෙන පැමිණියේ ඇයි යන්න යි.
ඇය නිදහස් කරන්නේ නම්, මානසික රෝග ඒකකය වෙත යොමු කරන ලෙස අපි පොලිසියෙන් ඉල්ලා සිටියෙමු. මන්ද කිසිඳු චෝදනාවක් නැත්නම් ඇය කළ රඟපෑම නිසැකවම හාරා අවුස්සා සොයා බැලිය යුතුය. එය මානසික රෝගයක් විය හැකිය.

Tuesday, September 13, 2011

දුවන වැසි, සංඛේත වැඩ වර්ජන, සහ ග්‍රීස් යකුන් !

සුපුරුදු පරිදි යළිත් උතුරට වැසි සමය ඇරඹුනා නමුත් පෙර කල මෙන් එය එක දිගට මාස ගණන් පැවතුනේ නෑ. අකුණු සැර අධික වැහි මදිවට, නිතර විදුලි ඇණ හිටීම් , ඒ මදිවට ග්‍රීස් යකා වීසින් මේ කොණ වැසියන්ගේ ජීවිත වල විශාල කලබලයක් ඇති කර තිබුනා.

නීරන්තර වීදුලිය ඇණ හිටීම් අතර මැද මහ රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයකුත් පිපිරුවා, ඒ එක්කම ශල්‍යාගාරයක විදුලි බල්බයක් පුපුරලා සියලු ශල්‍ය කර්ම ඇණ හිටියා. ඔය ජර මර සේරම අතර තුර අපි සුපුරුදු පරිදි අපේ එදිනෙදා රෝහල් වැඩ කටයුතුත් කරගෙන ගියා. ලැප්ටොප් එකේ බැටරිය පිච්චී ලියන්නට  බැරි වෙන තරමට අත කඩා දැම්මා වගේ වැඩක් වුනෙත් ඔය දවස් වලමයි. මේ විදුලි අලකලංචිය ඒකටත් හේතුවක් විය හැකියි.

ඒ දිනවල සෑම දිනකම උදෑසන අඩම් තෙට්ටම් වලට ලක්වී ගුටි කා පිහි ඇනුම් සහිතව හදිසි අනතුරු ඒකකයට ඇතූලත් කල ග්‍රීස් යකුන් බැලීමට යැයි සියල්ලෝම වැල නොකැඩී ඇදී යයි. ඔය අතර මානසික රෝගාබාද වලට ලක්වූ අයද සුලභය.
ග්‍රීස් යකුන් ගෙවල් වලට පැමිණි විට බය බිරාන්ත වී පැමිණි අයද බහුල විය.
නමුත් රෝහල් ගත වූ ග්‍රීස් යකුන්ගේ ග්‍රීස් තිබුනු බවක් නොදුටුවෙමු.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල එළි බැස්සේද මේ කාලයේදීමයි. 2003 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඕවාට වීරුද්ධව මහා විශාල අත්සන් එකතුවක් සකස් කළ බවත් මතක් විනි. නමුත් අද රජයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අප සමහරකගේ ආකල්ප ශිෂ්‍ය අවධියට වඩා වෙනස් බව මේ ගැන නිරන්තරයෙන් කෙරෙන කතා බස් වලදී වැටහේ.  සංඛේත වැඩ වර්ජනයක් පවත්වන්නට කටයුතු යෙදුනා, නමුත් එදින අප රෝහලේ සායන කිහිපයක්ම පැවැත්වෙන දිනයකි. හවස අපි කතිකා කරගත්තේ ඉතා දුර බැහැර සිට සායන වලට පැමිණෙන අපේ රෝගීන්ව අමාරුවේ දමන්නේ කෙසේද කියාය. වෛද්‍යවරුන් තවත් එපා කරවන වැඩ නොකර සායන වැඩ කටයුතු කරමූ යැයි කතාබස් කරන අතරේ එම වැඩ වර්ජනය අහෝසි කල බවට දැනුම් දුන් නිසා අපි සැනසුම් සුසුම් හෙලුවෙමු. මන්ද අවසන කරදර විඳින්නේ අන්ත අසරණ මිනිසුන් පමණක් නීසාවෙනි. රජයේ වෛද්‍යවරුන් නරුම ගති ඇති මුදල් කාක්කන් බව කියමින් තැනතැන බැණ වදින අය අප දහස් ගණනකගේ මානුෂික ක්‍රියාවන් නොදකී.

ස්ටෙතසයක් අත රැගත් හෙරක්ද ?

ඔය අතරේබොහොම විවේකීව පසුවන ඉරිදා දිනයේ උදෑසන වාට්ටු වටයෙන් (ward rounds)පසු අපි වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ සාලයේ වාඩිගෙන රූපවාහිනිය නරඹමින් සිටියෙමු. හදිසියකින් මෙන් ලොකු බෑගයක් රැගෙන පැමිණි තරුණියක් බෑගය එහි පුටුවක රඳවා අත තිබුනු වෙද නලාවත් සමග සැනකින් රෝහල් වාට්ටු දෙසට දීව ගියාය. 

ඔයිට කලින් සතියක අපේ බාහිර රෝගී අංශය වෙත පැමිණි තරුණියක් , තමන් හලාවත රෝහලේ වෛද්‍යවරියක් බවද මෙහි සේවය කරන වෛද්‍යවරියක් මුණ ගැසීමට පැමිණි බවද කියමින් ලොකු කලබගෑනියක් කලාලු, සැවොම විමසිලිමත් වී ප්‍රශ්න අසද්දී රෝහලෙන් පිටවී ගොස් තිබුනා. ඉංග්‍රීසි හෝ සිංහල වචනයක්වත් නොදන්නා ඇය තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් බවද පැවසුවායැයි එහි සිටි අය අප හා පැවසුවා.
එකත් එකටම මේ එම තරුණිය විය හැකියැයි සීතුනු නිසා අප කිහිප දෙනෙක් ඇය නැවත පැමිණෙන තෙක් රැඳී සිටියා. හදිසියකින් මෙන් වෙද නළාවකුත් අතේ රැගෙන මෙහි සේවය කරන වෛද්‍යවරියක් මෙන් රඟපාමින් ඇය පැමිණියාය.

"තමා කවූද ? " අපි ඉංග්‍රීසියෙන් විමසුවෙමු.

ඉංග්‍රීසි නොදන්නා බවක් ඇය කීවාය, එතැන් පටන් මම දෙමෙළෙන් ඇය හා කතා බස් කළෙමි.

" ඔබ කවුරු හරි මුණ ගැසීමට පැමිණියාද ? දැකලා පුරුදු නෑ"

ඇය පැවසුවේ "මම හලාවත රෝහලේ වෛද්‍යවරියක්. මම අහවල් කෙනා මුණ ගැහෙන්න ආවේ"

" මොන ෆැකල්ටියෙද ?" මම නැවත විමසුවෙමි.

"මම කොළඹ ෆැකල්ටියෙ. දැන් ෆ්‍රී ඉන්ටර්ස් කෙනෙක් හැටියට හලාවත වැඩ කරන්නේ"

එතැනින්ම ඇය කරන්නේ ප්‍රෝඩාවක් බව දහස් ගණන් ලෙඩුන් පැමිණෙන රෝහල් වල වැඩ කර අත්දැකීම් ඇති මට වැටහුනි. ෆ්‍රී ඉන්ටර්ස් කියා කිසිවෙක් නැත. ප්‍රී ඉන්ටර්න් (pre intern) හෙවත් වෛද්‍ය විද්‍යාල වලින් පිටව - සීමාවාසික පත්වීම ලැබෙනතුරු වෛද්‍යවරුන් හඳුන්වන කාලයයි .

"ඔබ කොළඹ වෛද්‍ය පීඨයේනම් අඩු තරමේ ඉංග්‍රීසි වචනයක් හෝ සිංහල වචනයක් දැන ගත යුතුයි. මම ඉංග්‍රීසීයෙන් දිගටම ඇගෙන ප්‍රශ්න කළෙමි. බියෙන් වෙවුලන්නට වූ ඇය, ගොත ගසමින් දෙමළෙන්ම පැවසුවේ.
"මම මේ ඉස්පිරිතාලේ ඉන්න අහවල් දොස්තරගෙන් ෆාමටෝලොජික් නෝට්ස් ඉල්ලාගන්න ආවා " යන්නට
ෆාමටෝලොජික් කියා විෂයක් අප ඉගෙන ගෙන නැත. තිබෙන්නේ ෆාමකෝලොජි හෙවත් ඖෂධවේදයයි.

මැය ලොකු ප්‍රෝඩාවක් කරමින් සියල්ලන්ම මුලා කරමින් ස්ටෙතසයක් රැගෙන මෙලෙස රෝහල් වල ඇතුලේ නිදහසේ සැරිසරමින් කරන්නේ කුමක් හෝ භයානක ක්‍රීයාවක් බව අප කිහිප දෙනාට වැටහිනී. එවිටම කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් අපේ දමිළ අයියා කෙනෙක් අපේ දුරකථන පණිවිඩ නිසා සැනකින් එතැනට පැමින ඇගේ නම ගම සියල්ල අසා හතර වටේට කෝල් දමා එහෙම කෙනෙක් කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 10 පුරාවටවත් ඉගෙන ගෙන නොමැති බව තහවුරු කර ගත්තේය...
දුවන්නට තැත්කරොත් අල්ලා ගන්න බලාගෙන කාරුණිකව ඇයට මම පැවසුවේ, ඇය පවසන ඔය කියන වෛද්‍යවරයා හමුවීමට අප හා පැමිණෙන  ලෙසයි. වැඩි පරිස්සමට, පළා යන්නට ඉඩක් නොදෙන්න, මම ඇගේ බෑග් එකද ඉල්ලා ගතිමි. ඉතා බර අධික එහි මොනවා තිබේද යන්න ගැන හිතට බියක්ද ඇතුල් විනි.

අපේ වෛද්‍ය නේවාසිකාගාරයේ සිකියුරිටි මහතුන් දෙදෙනා කැඳවා විමසුවේ මැයට මෙලෙස ඇතුල්වන්නට ඉඩ දුන්නේ ඇයිද කියාය.
ඔවුන් පැවසුවේ... මීට කිහිප සැරයක් එමින් යමින් තමන් හලාවත වෛද්‍යවරියක් බව කියමින් ස්ටෙතසයත් අතේ රැගෙන මැය රෝහල තුලටත් ඉන් පිටතටත් යන එන වගය. "ඉතින් ස්ටෙත් එකක් අතේ අරන් යනකොට අපිට අහන්න බෑනේ ඩොක්ටර්, එයා කවුද කියලා, මෙයා බස් එකට නගින්නෙත් ස්ටෙත් එක අතේ අරගෙනනේ" ඔවුන් මෝඩ තර්ක ඉදිරිපත් කළෝය.

"මේ අපි කවුරුත් ස්ටෙතස්කෝප් එක අතේ අරන් එළියට පාරට යනවා  දැකලා තියෙනවාද, කිසිම ඩොක්ටර් කෙනෙක් ස්ටෙත් එක අතේ අරන් මහ පාරේ යනවද  ?" මම ඔවුන්ගේ මෝඩ තර්ක සහ සාමන්‍ය දැනුම ගැන ප්‍රශ්ණ කළෙමි. වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් නේවාසිකව සිටින කාමර මෙන්ම ආපන ශාලාවද තිබෙන්නේ එහිය. බොහෝ විට අප නිදහසේ සිටින්නේ කාමර හෝ හොඳින් අගුල් නොදමමිනි.

කිහීප ගමනක් ඇවිත් තියෙනවා මදිවට වාට්ටු වලටත් ගිහින් තියෙනවා. ඇය හැඳ සිටියේද වෛද්‍යවරියකට නූසුදුසු ආකාරයෙනි. අතේ පයේ ඇඟිලි සියල්ලේම ඉතා තද පැහැ නිය ආලේපනයක් ගල්වා තිබිනි. බැලූ බැල්මට මතක් වෙන්නේ වෙනත් වෘතියක් කරන කෙනෙකි.

අපි  ඇය කැටුව වහාම අප වෛද්‍ය අධිකාරී කාමරය වෙත ගියෙමු.

මැය කවුද ? කුමකට පැමිණියේද ? ඊළඟ කොටසට මෙතැනින් යන්න... part  2 ස්ටෙත් එකත් අරන් රෝහලට ආ තරුණිය