Tuesday, July 26, 2011

ජීවිතය සොයා ....

"මේ ඩක්ටර් තමයි මුල්ලි වයික්කාල් වලදී මගෙ වම් උරහිසට වෙඩි වැදුනම බෙහෙත් කළේ..." ගීතාගේ(අනවර්ථ නමකි) සුපුරුදු කච කචය හැමදාම. කිහිප ගමනක්ම මම, සිංහල බවත් මා එකළ කොළඹ වාසය කළ බවත් එවිට ශිෂ්‍ය අවදියේ සිටි බවත් මේ පැත්තකට විනෝදෙට හෝ පැමිණ නැති බවත් පැහැදිලි කළෙමි. ඇය එවෙලෙට එය පිළිගන්නා නමුත් ඊළඟ දවසේ මා දුටු ගමන් පෙර වාදනය වූනු තැටිය නැවත වාදනය වෙයි.
ඔවුන් යුද්ධ කළ කාලයේ මා වැනිම පෙනුම ඇති වෛද්‍යවරයෙක් ඔවුන්ටද බෙහෙත් කරන්න ඇතැයි මම සිතුවෙමි. මෙහි සිටින අනිත් වෛද්‍යවරයා පෙන්වමින් ඔහු පුදුකුඩියිරිප්පු රෝහලේ සේවය කළ බවද ඇය සඳහන් කරයි. අප දෙදෙනාටම මෙය හැමදාම දවසේ විහිළුව විය. මන්ද ඒ සඳහන් කළ කාලය වන විට සීමාවාසික වෛද්‍යය කාලය බලාපොරොත්තුවෙන් කොළඹ සිටි හෙයිනි හෙයිනි.
ඩක්ටර් ලෙස අපව අමතන අමුතුව නිසා කොතෙක් ඩොක්ටර් කියා ඇගේ උච්චාරණය හැදුවත් හැමදාම ඩක්ටර් ඩක්ටර් යන්න නම් වෙනස් වෙන්නේ නැත.

අද පුනුරුත්ථාපන කඳවුරු වල සිටින්නන් නිරන්තරයෙන් ගෙනෙන්නේ අප මහ රෝහල වෙතය. ඒ අය බොහෝමයකට සිංහල හොඳින් හසුරුවන්න්ට පුළුවනි. ඇතැම් දිනවල රැඳවියන් 5-10 ප්‍රමාණයක් දින 1, 2 උණ කැස්සට පැමිණ රෝහල්ගත වෙති. අමාරු ලෙඩුන් සිටින දිනවල ඔවුන්ගේ මේ රෝහල්ගතවීම් ඇඳන් සීමිත අප වාට්ටු වලට ඇතැම්විට දරාගත නොහැකි තරම්‍ ය.

ගීතා මට මුලින් මුණ ගැසුනේ කායික රෝග වාට්ටුවේය. ඒ වේදනා නාශක පෙති ගොන්නක් බී දිවි නසා ගන්නට හැදූ නිසාය. තනියම කිවන ගමන් විටක දෙවියන් ඇය හා කතා කරන බව නාට්‍යානුසාරයෙන් රඟ දක්වයි.

ගීතා ඈත කෙළවර තිබෙන බංකුවක වාඩිවී ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. ඇය ඒ ලෙවල් සඳහා ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ දමිල බස ඉගෙන ගෙන ඇත. හොඳට රටේ ඉතිහාසය ගැන කියයි. රජවරු සහ කාල වකවානූ ඉතා හොඳින් පැහැදිලි කර දෙයි. "සිංහයාගේ සිද්ධිය විශ්වාස කරන්න අමාරුයි නේද ඩක්ටර්?" ඇය විටෙක අසයි. ඒ ගැන මා හා වාද කරයි.

"පව් නේද ගීතා" මට කියැවෙයි.
මා හවස් කාලයේ වාට්ටුවේ හෙද සොයුරියන් සිටින තැනට ගොස් ඔවුන් හා කදේ දාගෙන ඉන්න අතර අපේ සාත්තු සේවිකාවක් වන මාලිනීද(අනවර්ථ නමකි) අපේ කතා බහට විඩෙන් විඩ එකතු වෙයි.

" අනේ ඩොක්ටර් කොච්චරනම් පව් කියලා හිතුවත් මට තාම මතක් වෙන්නේ අපේ ගමේ එක ගොන්නේ මරලා දාපු හැටි. මයෙ මේ අවුරුදු 34 ජිවිතේට දැන් තමයි සැනසීමෙන් ඉන්නේ ඕං"

" බොරු නෙමෙයි ඩොක්ටර් උයාගන්න ගත්තු බත් එක කන්න නෑ. රෑට කැලෑවට වැදිලා ඉන්නේ හැබැයි දෙයියනේ කියලා සතෙක් සර්පයෙක්ගෙන් කවදාවත් කරදරයක් නම් උනේ නෑ ඩොක්ටර් ඔච්චර අපි කැලේ ඉඳලත්."මාලනී ඇගේ යුධ කාලයේ වාර්ථාව ගෙන හැර පායි.

"ඇත්තට..... මාලිනීලටත් කරදර වුනාද? " කතා අහන්න මම උපන්ගෙයි රුසියෙක්මි. මාත් පලිප්පු දමමින් ඇගේ කතාව අහන්නට හරි බරි ගැහුනාය.

"අපේ අම්මාට මං ලැබිලා මාස 3 , මේං මේ වගේ සයිස් මම හරහට වඩාගෙන කැලේට දුවලා තියෙන්නේ.අපිට හරියකට ඉගෙන ගන්නවත් ලැබුනේ නෑනේ. ඩොක්ටර්ට කියන්නේ.. අපේ මහත්තයත් ග්‍රාමාරක්ෂක වැඩ කලානේ. එයා නිවාඩු දවසේ රෑ ඒ බංකරේම හිටපු තුන්දෙනෙක්ම මැරුවනේ. මයෙ අම්මෝ හිටියනම් මහත්තයත් ඉවරයි. ඒ පවුලේ අය එක දිගට එක ගෙදර අයියා මල්ලි තියලා තිබ්බේ. මට දැනුත් මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා " මේ ඇගේම වචනයි. අපි අගනුවර ඉගෙනුම ලැබ එහිම සිට යුද්ධයේ එක පැතිකඩක් දකිද්දි. රෑට වන වැද දිවි රැකගත් මේ කොණේ මිනිස්සුන්ගේ කතා අසද්දී අනේ අපිට දැනුනේ මොනවාදැයි මට සිතේ. සිංහල දෙමළ මුස්ලිම් සෑම ජාතියකම සීයලූම මිනිසුන් මෙන්ම සත්වයින්ද මේ අවාසනාවන්ත කාලපරිච්ඡේදයේ උපරිම දුකක් වින්දෝය. අද ඔවුන් සියල්ලන් සැනසීමෙනි.

පේරා මෙඩීකල් ෆැකල්ටියට තේරී පටන් ගන්නා තුරු ගෙදර හිඳි කාලේ බලෙන් අල්ලාගෙන ගොස් මාස 2, 3 පසු පුදුකුඩුඉරිප්පු සටන අතර තුර දිවි ගලවාගත් මතීෂ්වරන් (අනවර්ථ නමකි) තවම ඉන්නේ රැඳවුම් කඳවුරේය. ඔහුට ඉගෙන ගැනීමට නිරවුල් මනසක් නැත. " එදා ගෙදර ඉන්නෙ නැතුව මම වෙන කොහේ හරි හිටියනම්... මම අද ඔයාලා වගේ ඩොක්ටර් වෙන්න ඉගෙන ගන්නවනේ" ඔහූ දුක්බරව පවසයි. අද ඔහු PTSD (post traumatic stress disorder) යන රෝගී තත්වයට පත්වී ඇත. ඒ ඔවුන් මුහුණදුන් කරදරකාරි ඛේදජනක අත්දැකීම් නිසාවෙනි. බංකර් වල රැය පහන් කරමින් තමන්ට නුහුරු දෑ කරමින් අනාගතය විනාශ වී යන අයුරු දරාගෙන සිටි ඔහුට අද යන්නට මගක් නැති සෙයකි. "තනියම ඉන්නකොට ගොඩක් බය දැනෙනවා " සායනයට පැමිණෙන ඔහු පවසයි.

වැසි සමයේ එළි බට වෛරස් උණ හෙම්බිරිස්සා කැස්ස ආදිය නිසා කඳවුරු වල සිටි ඔවුන් නිරන්තරයෙන් රෝහල් ගත වේ. එසේ පැමිණි හැමෝම වගේ අප සමග හොඳින් කතා බස් කරයි. හැමෝගෙම කතාව එක වගේය. ඒ එකල ඔවුන් විඳි දූක අපේක්ෂා භංගත්වය රැගත් හෙටක් නැති අවිනිශ්චිත ජීවිතයද , අද නිදහස හිමි වුවත් තම සමීපතයින් අහිමි ජීවිතය සමග ඔවුන් තනිවී ඇත. ඔවුන් බොහෝ දෙනෙක් ළඟ එන උසස් පෙළ විභාගයට හරි හරීයට පාඩම් කරති.

පසුගිය දිනක හවස් වරුවේ අපට නිවාඩු වේලාව තිබුනු නිසා ඔවුන් බලන්නට ගියෙමු. අම්මෙක් තාත්තෙක් නැත. ඔවුන් පාසැල් ඇරී පැමිණ සිටියේ අප එන බව අසා නිල ඇඳුම්වත් මාරු නොකරය. අප එහි ගියේ අප විශේෂඥ වෛද්‍ය තුමාගේ මිතුරෙක් වන ප්‍රසිද්ධ ක්‍රීඩා ශූරයෙක් සමගය. සර් මුණ ගැසීමට පැමිණි ඔහු අප සමග යෑමටම ලකලැහැස්තිවූයේ ඉතා කැමැත්තෙනි. ඔහු ගැන ඔවුන්ගේ පාසැල් පොත පතේ සඳහන් වන නිසා ඔවුන්ට ඔහූ සජීවීව දකින්න ලැබීම අපූරු අත්දැකීමක් වේවියැයි අපටද සිතුනි.

මේ දරුවෝ දැන් පාසැල් යති. ඉගෙනීමේ වැඩ වල යෙදෙති. බොහෝමයක් දෙනා සාපෙල සහ උසස්පෙල කරති. මුල් කාලයේ ඔවුන් සිටියේ බය බිරාන්තවය. අවශ්‍ය මොනවාදැයි ඇසූ විට කිසිවක් ඉල්ලුවේ නැත. නමුත් දැන් ඔවුන් ඔවුනට අවශ්‍ය දෑ පවසයි. පොඩි උන් ටික මෙවර ඉල්ලා සිටියේ ෆුට් බෝලයකි. ෆුට් බෝලයක් (පා පන්දුවක්) පමණක් නොවේ, දැල් පන්දු බැඩ්මින්ටන් කැරම් සහ චෙස් බෝඩ් ද ඔවුන්ට මිලදීගෙන පැමිණෙන බව ක්‍රීඩා තරුව පවසයි.

මේ ළඟදී පැවති ක්‍රීඩා උත්සව වලින් ජය ලැබ ගත් කුසලාන සහ සහතික අපට පෙන්වීම සඳහා ඔසවාගෙන පැමිණෙයි. ක්‍රීඩා තරුව දෙස දෑස් දල්වා බලා සිටී. ඔහුගේ හපන්කම් සහ කුඩා කාලය ගැන විමසයි. ඔහුත් උස්මහත් වුනේ මේ කොණේ දිළිඳු ගමක බව ඔහූ කියයි ඔහු දුක් විඳ ජීවිතය ජය ගත් අයුරු කියද්දී ඔවුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් දීප්තිමත්වේ. ඔවුනට ඔවුන්ගේ ළමා කාලය හිමි වීම තරම් භාග්‍යයක් තවත් කොහින් ද ?
......................
(නම් ගම් සියල්ල අනවර්ථ නාමයන්‍ ය)

Sunday, July 24, 2011

මහසෝනා, සූනියම් අප්පච්චී සහ වැරදුනූ ගුරුකම්

උදෑසන සායනික වටය අවසානයේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කාමරයේ අප සාකච්ඡා කරමින් සිටියේ එදින යන්නට නියමිතව සිටි ප්‍රාදේශීය රෝහලක සායනක් පිළිබඳවය. වැසුනු රෝහල් අලුතින් ඇරීම කෙසේ වෙතත් පවතින රෝහල් වලද වෛද්‍යවරු හිඟය බොහෝ සෙයින් වේ. එනිසා අප මහ රෝහලේ වෛද්‍යවරුන් සැරෙන් සැරේ මාසිකව අවට ප්‍රාදේශීය රෝහල් බොහෝමයක සායන පවත්වන්නේ රෝහලේ වැඩකටයුතු වලට අමතරවය.

ගැහැණියකගේ විලාපයක් ඇසුනේ මෙවිටය. මෝචරිය මේ අසල නිසා එහි ගෙන ආ මළ රෝගියෙකුගේ පිරිස මෙලෙස වැලපෙද්දී ඒ හඬ මෙදෙසට ඇසේ එනිසා අප කළබල වුනේ නෑ. නමුත් ටික වේලාවකින් අපි දුටුවේ ට්‍රොලියක තියාගෙන හතර පස් දෙනෙක් අත පය අල්ලා ගත් කාන්තාවක් කෑ ගසමින් ට්‍රොලිය වේගයෙන් කොරිඩෝව දිගේ මෙදෙසට ඇදී එන බවයි. සිංහල භාෂාවේ නරකම වචන ඇගේ කටින් පිටවේ.
.... මගේ මොළය පුච්චන්න නේද යන්නේ... යනුවෙන් ඈ කෑ ගසයි. මා සමග සිටි අනෙක් වෛද්‍යවරයා දමිල නිසා ඔහුට එතරම් ඈ ආවේගශීලී ලෙස කියූ දෑ නොතේරුණ අතර ඇය ගෙන ආ ඇගේ සැමියා පැවසුවේ ඇයට මල ගිය පෙරේත දිෂ්ඨියක් ඇති බවය.
එවිටම ඕ පී. ඩී. එකෙන් කෝල් එකක් ආවේ එහි සිටි රෝගීන් ඇතුලත් කිරීමේ කාමරයේ වෛද්‍යවරයාටද ඇය පහරදුන් බව කියමිනි.
ආවේගයත් කෝපයත් එක සේ ඇවිස්සුනු ඒ වෙලාවේ ඇයට කතා කිරීම අපහසුය. සන්සුන් වීමට නින්ද යෑමට එන්නත් විද ඇය ඇඳට දමා අත පය ගැට ගැසූ සාත්තු සේවකයින් පිරිස යන්නට සැරසේ.
ඇයට අපී සුනීතා කියමු. 29 හැවිරිදි වියේ වූ ඇයගේ මුහුණින් කියා පෑවේ ඉතා දුෂ්කර ජීවිතයක සලකුණුය. අපි .... අහවල් පළාතෙන් ඇගේ සැමියා ඔවුන්ගේ තොරතුරු හෙළි කරන්නට විය. මම සහ අපේ ඒකකයේ උපදේශන සේවයේ නියුතු උපදේශකතුමිය , ඇගේ ස්වාමිපුරුෂයා සමග කතා බහ කළෙමු.
"මෙයාට පේන කියන්න පුළුවන්න් වරමක් තියෙනවා කිව්වා. ආවේසයකුත් එනවා. ගෙවල් වටේම ඉන්න නෑයෝ ඉරිසියයි. ඒකනිසා ගුරුකම් කරනවා. මම රැකියාව කරන්නේ මෙහෙ , මෙයා මාව හොයාගෙන ඇවිත් තිබූනා. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා"

"ගමේ ඉන්න බෑ වටේම නෑයෝ අපට කරදර කරනවා, ගූරුකම් කරනවා. මෙයාගේ මොලේ අවුල් වුනෙත් ඒ අය ගුරුකම් කරලා.. ඒ ගුරුකම් කපන්න මම වරින් වර රු. 50 000 සහ ලක්ෂ දෙකක විතර මුදලක් වියදම් කරා."

"ඉතින් ඊට පස්සේ හරි ගියාද ?" මම ඇසුවෙමි.

"ටික දවසක් හොඳින් හිටියා, ඊට පස්සෙ ආයෙම මෙහෙම කියවන්න ගත්තා.මෙයාට පෙරේතයෙක් වැහෙනවා. හොඳ තොවිලයක් කරලා මිසක් ඒක අහක් කරන්න බැරිවෙනවා කියලා ගුරුකම කපපු අය කිව්වේ "

මුලින්ම ඇගේ ස්වාමි පුරුෂයාගේ මනසේ තිබෙන වැරදි වැටහීම් ඉවත් කළ යුතු බවයි අපට වැටහුනේ. ඇය, එක්සර්සයිස් පොත් දෙකක් පිරෙන්නට ඇගේ ජීවිත කතාව ලියා තිබී ස්වාමි පුරුෂයා විසින් අප අතට පත් කළාය. ඒ කතාව කියවූ අපට පසක් වූයේ ඔවුන් සීටින මුළු ගම්මානයම හදි හූනියම් ගුරූකම් පිළිබඳව විශ්වාසයෙන් සිටින බවය. මගුලක් වැරදුනත් කිසිවෙක් මියගියත් ඒ කාගේ හෝ හූනියමක් ගුරුකමක් නිසාලු, රෝගී වුනත් ඔවුන් දුවන්නේ තොවිල්පලට මිසක් රෝහල්වලට නොවේ.

"රෑට සූනියං අප්පච්චි මගේ ළඟට එනවා දරුවෝ. එයා ඇවිදින් ඔය හැමෝම කරන දේවල් මට කියනවා. මගේ මේ.... වෙන්න හේතුවත් අපේ අයියගේ පවුලයි අම්මයි එකතුවෙලා මට කරන හූනියම් නිසා"

ගුරුකම් කියන දේවල් දකින්නවත් දැනෙන්නවත් තියෙන දෙයක් නොවන බව අපි මුලින්ම ඔහුට සහ ඇයට පැහැදිලි කළෙමු. කවරෙක් හෝ කියූ පළියට, කරා යැයි කියූ පළියට ගුරුකම් පළ දරනවානම් එහෙනම් මේ ලොකේ මේ තරම් පොළිසි හමුදා හෝ අධිකරණ අවශ්‍ය නැහැ නේද ? අපි ඔහුට පැහැදිලි කර දුන්නෙමු. ගුරුකම් කියලා අන්තිමට තමන් විසින්මයි තමන්ට අවැඩ කරගෙන තියෙන්නේ.

"ඔය කියන නෑයෝ කවුරුවත් රු. ලක්ෂ ගණන් වියදම් කරලා ලෝකෙට ණය වුනාද ?
ඒ නෑයෝ යාලුවෝ කවුරුවත් මෙහෙම ඔළුව අවුල් කරගෙන රෝහල් ගත වුනාද ?
ඒ අය කාගෙවත් ගෙවල් වල ප්‍රශ්න වෙලා තියෙනවද ?
දරුවන්ට ඉස්කෝලෙ යන්න බැරි වෙලා , ගේදොර වතු පිටි පාළු වෙලා අම්මා කෙනෙක් මෙහෙම හැසිරෙනකොට ගුරූකම කරගෙන තියෙන්නේ කවූද ? තමන්ම තමන්ටම . ඒ කියන්නේ තමන්ගේම හිත නේද ? "

අපේ ප්‍රශ්ණ ඉදිරියේ ඔහු මෙන්ම ඇයත් මෙතෙක් ඔවුන් මුලා වී සිටි අන්දම වටහා ගේන මෙහි යථාර්තය තේරුම් ගත්තේය. මානසික අවපීඩනයකට ලක්වී සිටි ඇය මානසික රෝගියෙක් කියා ලේබල් අලවන්නට අපි උත්සුක නොවූයේ වටින් පිටින් පැමිණෙන කරදර බාධක දරාගැන්මට නොහැකි වූ තැන තද හිත් නැත්තෝ, යතාර්ථය වටහා ගත නොහැකි අය මෙලෙස තමන්ගේ කරදර සිදුවන්නේ අනුන් නිසා යැයි කියති. ගුරුකම් අණවින කොඩි වින නොයෙක් දෑ පසු පස දුවති.

මීට ටික කලකට කලින් මහසෝනා වැහී මෙහි ආ අනෝමා මට සිහිවේ. මුලින් ඇය කායික රෝග වාට්ටුවට ඇතුලත් කරද්දී තනියම දොඩවන එකට අමතරව කෑ ගසමින් හූ තියමින් වාට්ටුව වටේ සහ අනෙක් වාට්ටු වලට දිවීමද, කෙස් බුරුතු පිටින් කඩා ඇද දත්මිටි කෑවායි ඒ වාට්ටුවල මිස්ලා මා හා කියුවා මතකය. ඇඳට බැඳ තබා තිබුනු ඇය අප වාට්ටුවට ගෙනාවේද අත් පා බැඳ සතෙකු විලසිනි. ඇයට නිතර නිතර වැහෙන්නේ මහසෝනා බවට ගමේ කට්ටඬි මහතා හඳුනාගෙන තිබුනාලු තෝවිල්ද නැටුවාලු, කොහොම හරි අල්ලපු වැටේ ඉඩම් ප්‍රශ්නෙකට ගුරුකම් කරගෙන නඩු කියාගෙන කරදර විඳගෙන හිටිය ඇය එකපාරට මෙහෙම වෙද්දී ගමේ අයෙක් මෙහි ගෙන ඒමට කටයුතු කරලා තියෙනවා.

මෙහි ගෙන එද්දී දත කට තද කර පියාගෙන අමුතු භයංකාර බැල්මෙන් අප දෙස බල බලා දිව එළියට දමමින් හූ තියමින් වෙව්ලමින් සිටි ඇයද එක බෙහෙත් වඩියකින්ම සුව වී අත් වැඳගෙන පැවසූවේ. " අනේ මට දැන් හොඳයි සහනයයි නෝනා මේ වාට්ටුවේ දවස් දෙකක් තුනක් ඉන්න දෙන්න " කියාය. ඇගේ කතාවද ඉහත කතාව වගේමය. ඇයත් කරලා තියෙන්නේ දේවාල කිහිපයකට ගොස් මුදල් සම්බාරයක් වියදම් කර තමන්ගේ හතුරු අය වෙත ගුරුකම් කරන එකයි. මෛත්‍රී , උපේක්ෂා වැනි ගුණාංග වෙනුවට ඔවුන්ගේ හිත් වල පැල පදියම් වෙලා ඇත්තේ අනුන් තමන් වෙනුවෙන් නරක කරද්දී තමුන්ද එකටෙක කිරීම කල යුතුය යන වැරදි අගතියට මුල පුරන දෑය.
දින කිහිපයක් නොකඩවා බෙහෙත් ගත් අතර මහසෝනා ආයෙත් ඇය සොයා ආවේද නැත. අප උපදේශන සේවයේ නියුතු නිළදාරීන් විසින් මොවුන්ට නිසි උපදෙස් දී හරි මගට යොමු කරන්නේ හිත් වල ඇති වැරදි වැටහීම් තේරුම් බේරුම් කර දෙමිනි. ගෙදර ගිය විටක මේ විස්තර කියද්දී මගේ අම්මා පවා බිය වී " අනේ පුතේ බලාගෙන ඔය යක්කු වැහෙන අය ළඟට යන්නේ හොඳට බුදු ගුණ සිහි කරගන්න "කියා කීවාය.

රෑ 12 වාට්ටූවේ සිට අපේ නිල නිවාස වෙත තනියම යන අපිට නම් තවම කිසිම යකෙක් මූණට මුණ ගැසී නැත. සොහොන් පොළවල් අසලින් රාත්‍රියේ ගමන් කර ඇත්තෙමි. වාට්ටුවේ මහ රෑ පාන්දර මිය ඇදෙන රෝගීන් අසළ හිඳ නැවත නිල නිවාසයට පැමිණෙන්නේ තනියමයි. මොන මළ යකෙක්වත් මුන ගැසුනේ නැත. සියල්ල තියෙන්නේ හිත් වලයි.
දැන් අනෝමා තනියම ඇවිත් අප සායනයෙන් බෙහෙත් රැගෙන යයි. මූණත් එළිය වී ඇත. දුව සමග සිටින ඇගේ සිතට ශාන්තිය ගෙන දුන්නේ අපේ මානසික සායනය මගිනි. ඒ ගුරුකම්. යක්ෂ ප්‍රේත වැනී බාහීර බලවේගයන්හි ඇත්ත ඔවුන්ට තේරූම් කර දීමෙනි.
දැනට මහසෝනා , මල ප්‍රේත දීෂ්ඨි කීපයක් මෙන්ම ෆැකල්ටි කාලයේදී මානසික වාට්ටු තුල , රීරි යකාගේ සිට කඩවර දෙයියෝ දක්වාද පත්තිනි අම්මා, ජේසු තූමන්, මරිය තුමී , බුදුන් වැනි ලෝක පූජිත චරිත තමන් යැයි කියාගන්නා අය මෙන්ම මේ ලෝකේ විනාස නොවී බේරාගැනීම සඳහා මෙහි පැමිණී අයද දැක ඇත්තෙමි.ඒ සියල්ලන් සිටියේ මානසික රෝගී වාට්ටු තුලය.

මනස සියල්ලටම පෙරටු වේ ! දුර්වල වුන හිත නිසා හිතේ ඕනෑ එපාකම් පිරිමහගන්න අන් අය වෙත දුෂ්ඨ කම් කරමින් අවසානේ තමන්ම නැසෙන මිනිසුන් මේ ලෝකේ කොයි තරම්ද ? හානියක් වුනානම් වුනේ ඒ නපුරුකම් දුෂ්ඨකම් කරපු අයටම මිසක් ඒවා දරාගත් අයට නොවන බව ඉහත කතා වලින් ඔබට වැටහෙන්නට ඇති. එනිසා හිතේ වහලෙක් නොවී අපි හරි වැටහීමකින් අනාගතයට පිය නගමු.

ප.ලි - මේ ලිපියෙහි සඳහන් වෙන්නේ මනසින් රෝගී වූවන් පිළිබඳවය. රෝග සුව කිරීම් ගැන නොවේ.

Tuesday, July 19, 2011

රාත්‍රී වැඩ මුර සහ බාප්පාගේ රෝහල

මහ වැසි ඇද හැලෙන සමයට උණ වසංගතය හැම අතම බෝවේ. මාසයක පමණ උණ ඇති අයගේ ඉඳන් දවස් 2 උණ තිබෙන පුද්ගලයින්ද බුරුතු පිටින් රෝහල් ගත වේ. දිනකට රෝගීන් 60 පමණ වාට්ටුවට පැමිණේ. ඇඳන් උඩත් බිමත් යටත් ලෙඩ්ඩුන්ය. සැරින් සැරේ ලයිට් කපන හෙයින් රාත්රී සායනික වටය කරගැනීම ඉතා අපහසුය. මුතු බණ්ඩා (අනවර්ථ නමකි) රෝහල් ගත වෙන්නේ මේ කාලයේය. ඇදුම රෝගය උත්සන්න වී හදිසි ප්‍රතිකාර අංශයටත් ඉන් පසු අප වාට්ටුවටත් ඔහු සමග තව කිහිප දෙනෙක් එවා තිබිනි.
තිත් පොළඟකු දෂ්ඨ කිරීම නිසා රෝහල් ගත වූ මහළු රෝගියෙක් සහ තරුණ අයෙකුගේ මූත්‍රා පිටවීමට සවි කර තිබූ බෑගය දෙසම විමසිලිමත් වෙන්නට අපට සිදුවී තිබුනි. ඒ ඔවුන්ගේ තත්වය තවත් අසාධ්‍ය කරමින් මූත්‍රා සමග ලේ පිටවෙමින් තිබූ නිසාය. උස්සා කෙළින් කල හැකි ඇඳන් තිබුනේ කීහිපයකි. ප්‍රථම ඇඳන් දෙකේ ඇඳුම රෝගීන් දෙදෙනෙකුම අමාරුවෙන් හුස්ම ගනිමින් පසුවෙති. මුතු බණ්ඩා ඉන් අයෙකි. මාස 8 කට වැඩි කාලයක් සායනයට නොපැමිණි ඔහුගේ ඇදුම රෝගය උච්චතම අවස්ථාවේ තිබේ. රුධිරගත ඔක්සිජන් සහ හර්ද ස්පන්දනය මැනෙන මිනුම් උපකරණයට ( pulse-oxymeter ) ඔහුගේ ඇඟිල්ලකට සම්බන්ද කර තිබේ. ඔහුගේ පැරණි සායනික පොත් කියවද්දී මගේ කෝපයේ රතු කට්ට පනී. මාස 8 පමණ බෙහෙත් ගැනීමට ඇවිත් නැතිවා මදිවට දැන් ඇවිත් තියෙන්නේත් සති දෙකක සිට හුස්ම ගැනීමේ අපහසුවෙන් හිඳ එයද බොහෝ අසාධ්‍යය වූ විටයි.

ඇදුම රෝගය ඇති අය නොකඩවා බෙහෙත් ගත යුතුය. වාතය ගෙන යන නාල හැකිලීම කොයි මොහොතේ සිදුවෙයිද කිව නොහැක. ඇතැම් විට මේ රෝගය දරුණු වුවහොත් මරණය පවා සුළු මොහොතකින් උරුම වේ. මුතුබණ්ඩා හුස්ම ගන්නේ ඉතා අපහසුවෙනි. ඉහලට ගන්නා හුස්ම පිට කරන්නට වඩා අපහසු වේ. ඒ ඇදුම රෝගයේ ලක්ෂණයකි. දැන් ඔහුට ඔක්සිජන් සම්බන්ද කර මුහුණු වැස්මක්ද පළඳවා තිබේ. විඩෙන් විඩේ සැල්බියුටමෝල් සහ ඉප්රාවෙන්ට් නමින් හඳුන්වන සංකෝචනය වුන වායු නාල ප්‍රසාරණය කරන බෙහෙත්ද ඒ ඔස්සේම පෙණහළු වලට ලබාදෙමින් මහ රෑ වන තුරු අප සියලු දෙනා පසුවූයේ ඉතා දැඩි අවිනිශ්චිත බවකිනි.

මේ වාට්ටුවල සෑම දිනක්ම මේ වාගේය. තව ඇඳන් දෙකක හෙපරින් ශරීරගත කෙරෙන හර්ද රෝගීන් දෙතුන් දෙනෙකි. අමාරුම ලෙඩුන්ගෙන් අඩු නැත. අපට අමාරු දෙන අමාරු මවා ගන්නන්ගෙන්ද අඩු නැත. මොකුත් ලෙඩක් නැතුව ඉන්න හිටින්න තැනක් නැති නිසා රෝහල් ගත වෙන්නන්ද අඩු නැත.

අනෙක් ඇදුම රෝගියා මෙහි පැමිණ තිබුනේ කොළඹ සිටය. ඔහුගේ සහෝදරියගේ ගෙදර ආ වෙලේ යා ගත නොහැකිව ඇදුම රෝගය උත්සන්නව අප වාට්ටුවේ ප්රතිකාර ලබයි. යන්තම් ඔවුන්ගේ රුධිරගත ඔක්සිජන් අගය 95 % සහ ඊට වැඩි ප්‍රතිශත පෙන්වන්නට විය. ඔවුන් හුස්ම ගනිද්දී පවා අමාරුවක් දැන් පෙන්වන්නේ නැත.

මහ හඬින් ඇස්බැස්ටොස් වහලය මත ඇද හැලෙන වර්ශාව නිසා අප ද කෑ ගසා කථා කළ යුතුය. පොළොං විෂ ශරීර ගතවූ මහළු ගොවියාගේ දැසද අඩවන්ව ඇත. ඇස් පිය ඇරීමට නොහැකි ලෙස එසේ සිදුවන්නේ විෂ නිසාය.(මේ සර්ප විෂ ගැන සාවිස්තරාත්මක ලිපියක් සහෘද බ්ලොග් සටහනක පලවී තිබුනා මතකය). රාත්‍රී 11.30 පමණ රුධිර කැටි ගැසීමේ පරීක්ෂණය කළ හෙදි සොයුරිය මට පැවසුවේ එය කැටි නොගැසෙන බවය. එසේනම් නැවත වරක් එය කර බලනා අතරතුරේ AVS ( Anti venom serum ) නමින් හැඳින්වෙන පොළොං විෂට එරෙහිව නිපදවා ඇති ඒ ප්‍රති විෂ එන්නත් කළ යුතුය. පැය භාගයක් පමණ වෙලා හෙමින් ශරීරගත කළ යුතු ඒ විෂ හරණය කරන දියරය ශරීර ගත වෙන විට ඇතැම් විට ප්‍රතික්‍රියාවක් allergic reaction ආවොතින් රෝගියා මිය යා හැකියි. ඊට ප්‍රථම එන්නත් කළ යුතු ඇඩ්‍රිනලින් , හයිඩ්‍රොකෝටිසෝන් , කෘතිම ස්වසනය දිය යූතු වායු බෑග සහ මුඛය මගින් ඇතුල් කල හැකි බට වැනි දෑ සහිත ට්‍රොලිය සූදානමින් රෝගියා අසල තිබේ. දිනකට සර්ප දෂ්ඨ කිරීම් නිසා පස් දෙනෙකුවත් අවම වශයෙන් රෝහල් ගත වේ.
හොඳ හෙද පුහුණුවක් ලැබූ මිස්ලා වාට්ටුවේ ඉන්න නිසා තනියම සේවය කරන්න සිදුවූ දිනක වුනත් බය වෙන්න නම් කිසිම හේතුවක් නැත. ඒ ඔවුන් ඉතා හොඳින් අවධානයෙන් ඉන්න නිසාය. මිස් ඒ. වී. එස් හෙවත් විෂ නසන බෙහෙත සකස් කරමින් සිටියදී මාස දෙකකින් ගෙදර නොගිය බව සිහි විනි. අලුතින් බැච් එකක් එනකම් වෛද්ය පුරප්පාඩු තිබෙන මේ කාලයේ ගෙදර යන්න අපිට දෙන්නේත් දවස් 1 ½ නිවාඩුවකි. කොළඹ ගොස් පැමිණෙද්දි එය මගටම ඉවරයි. යන්තම් ඒ මහළු රෝගියාට කිසිදු කරදරයකින් තොරව සර්ප ප්රති විෂ එන්නත දි ගත හැකි විය. හර්ද ස්පන්දන වේගයේ හෝ රිද්මයේ වෙනසකුත් නැත. ඇදුම රෝගීන් දෙදෙනාම නින්දේය. මම සැහැල්ලුවෙන් පාන්දර 2 පමණ අපේ නිල නිවාසය වෙත පැමිණියෙමි.

නින්ද ආවා මතකය උදෑසන 5.00 පමණ යළි කාමරයේ දුරකථනය නාද වෙයි. කොළඹ සිට මෙහි පැමිණ රොහල් ගත වී සිටින අසිස් (අනවර්ථ නමකි) මහතාගේ ඇදුම රෝගය උත්සන්න වී ඔහුට හුස්ම ගැනීම දැඩි සේ අපහසු වී ඇත. මා කඩි මුඩියේ මුහුණ කට හෝදාගෙන වාට්ටුවට දිව්වෙමි. ඒ වනවිටත් අපේ මිස්ලා ඔක්සිජන් සහ ඖෂධ රැගත් ස්වසන උපකරණයට ඔහු සම්බන්ද කර නෙබියුලයිස් කරමින් සිටියෝය. ඔක්කෝටම වඩා ඔහු භය බිරාන්ත වී සිටී. ඒ ඔක්කෝටම වඩා අපට තරහ ආයේ අධික ලෙස වැසි වැටෙන ඉතා සීතල මේ සමයේ ඔහු බැනියමක්වත් නො ඇඳ උඩු කය නිරාවරණය කරගෙන සිටීමය. ඒ කාලයේදී අපත් වාට්ටුවට යන්නේ ජර්සියක් ඇඳගෙනය. යන්තම් උදෑසන හිරු එළිය වැටෙද්දී ඔහුගේ තත්වය සුව අතට හැරුණි. අනෙක් වෛද්‍යවරිය පැමිණියෙන් මම මුහුණ කට සෝදා ඇඳුම් මාරු කරගෙන එන්න පිටත් වුනෙමි.

ඊළඟට උදෑසන 7 පමණ අප සායනික වටය ආරම්භ කළෙමු. ඇඳන් පේළි දෙක බෙදාගෙන අප දෙදෙන එක පැත්තක සිට රෝගීන් බැලීම පටන් ගත්තෙමු. මුලින්ම සිටියේ මුතු බණ්ඩාය. දැන් පහසුවෙන් හුස්ම ගනිමින්. ඇඳේ ඉඳගෙන සිටීන හේ සුවයෙන් පසුවන හෙයින් මගේ දේශනාව දැන් දිය යුතුයැයි සිතිනි. මෙතෙක් කල් සායන වලට නොපැමිණ බෙහෙත් නොගෙන හිඳ දැන් අසාධ්‍යය වී පැමිණි ඔහුට රෝගයේ භයානක කම කියා දුනිමි. එනමුදු තරහ නොගෙන සිටීමද අපහසුය. සමහර වෙලාවට මෙසේ රෝගීන්ගේ නොසැලකිලිමත් කම නිසා ඔවුන්ගේ රෝගය උත්සන්න වී පැමිණි විට තරහ යන්නේ අපටය. එලෙස තරහ අරගෙන දෝස්මුර තබන විට අපට පව් සිදු වේද කියා නොයෙක්වර එකළ එකිනෙකාගෙන් විමසනවා මට මතකය.

“ අනේ මම මැරෙයිද නෝනා” මුතුබණ්ඩා අසරණව විමසයි. ඔහුට නොසැලකිලිමත් කම ගැන දොස් නැගීම ගැන මට දැන් දැනෙන්නේ දුකකි.

“කුඹුරු වැඩ තිබුනා . දරු පවුල රැකෙන්නේ ඒකෙන් . අනික පහු ගිය දවස් වල කලබල නිසා අපිට මෙහෙ එන්න බයේ හිටියේ. හුඟක් වෙලාවල හිටියේ ගස් උඩ , හැංගිලා, ඒකයි එන්න බැරි වුනේ නෝනා. අමාරුවක් නැති නිසා ඊට පස්සේ මතක් උනේම නෑ. දැන් තමයි තේරෙන්නේ භයානක කම.අනේ මම මැරෙයිද නෝනා ” කුසගිනි හා සටනේදී රෝගය ගැනවත් ඔහු සිතා නැත. මේ පැතිවල සිටින හැමෝගෙම ප්‍රධාන නිදහසට කාරණය වන යුධ කාලය (එකල ගැන ලියැවූනු පෙර සටහනක් ) නැවත මොහු මතක් කරයි.

“දැන්නම් තත්වය එතරම් භයානක නෑ. නමුත් ඕනෙම මොහොතක උත්සන්න වුනොතින් භයානක වෙන්න පුළුවනි” මම ඔහුට රූප සටහන් මාර්ගයෙන් අපට ශිෂ්‍යය කාලයේ කියා දී ඇති පරිදි ගත යුතු උරණ බෙහෙත් හෙවත් ඉන්හේලර් වර්ගය සහ පාවිච්චි කළයුතු කැප්ෂූල්/කරල් වර්ගයේ පාට සහ වැදගත්කම කියා දුන්නෙමි.

වාට්ටුවේ දින 4 පමණ ප්රතිකාර ගත් ඔහු සම්පූර්ණ සුවය ලබා, පිටව යන දවසේ අප අර ඩිස්චාජ් කාඩ් ලියමින් සිටි මොහොතක අපේ කාමරය වෙත පැමිණියේය.
“ගිහින් එන්නම් නෝනා.” කියූ ඔහු අප පුදුමයට පත් කරමින් අප ඉදිරියේ දණ ගසා වැඳ වැටුනේය. “අනේ තාත්තේ අපට පවු නැගිටින්න ඇයි මේ වඳින්නේ කියමින් අපි දෙදෙන පුටු පෙරළාගෙන නැගිට්ටෙමු. “ මගේ පණ බේරලා දුන්නේ නෝනලා.” ඇස් වල කඳුළු පුරවාගෙන ඔහු කීවේය. ඔහු අප ඈත සිට මෙහි පැමිණ කරනා සේවය මහත් සෙයින් අගය කරයි.

අප දෙන උපදෙස් හමුවේ අප හා උරණ වෙන අපේ සේවය ඩිමාන්ඩ් කරන, අපගේ සුළු කාල ප්‍රමාදයක් හෝ නුරුස්සන අගනුවර සිටින උසස් පන්තියේ උගතුන් රජයේ රෝහල් වලට පැමිණ ඔවුන්ගේ සිතැඟි ඉටු කරගන්න අප වෙත දමනා ගෝරනාඩු මතක් වේ.

මෑතකදී මා රෝහලේ ලෙඩුන් ඇතුලත් කරගන්නා ( admission ) කාමරයේ සේවය කරද්දී චාරිකාවක් යමින් සිටියදී පැජරෝ රථයක් පෙරලී මෙහි ගෙන ආ අතපය කැඩුනු සීරුනු ලේ ගලන තුවාල සහිත රෝගී කාන්තාවන් සහ පිරිමින් ,

“ අපිට මේ රෝහලට ඇතුල්වෙන්න බෑ දැන්ම අපිට ඇම්බියුලන්ස් එකක් දෙන්න කොළඹ යන්න “ යනුවෙන් නියෝග කරද්දී හිතට ආ සිතුවිලි ගොන්න තද කරගෙන ඉවසගෙන සියල්ලන්ගේම තත්වය විමසා බලා හදිසි අනතුරු වාට්ටුව වෙත පිටත් කළේ

“ තත්වය භයානක නිසා ඔයාලගේ ජීවිත බේරගන්න කටයුතු කරන්න මට ඉඩ දෙන්න” යැයි කියමිනි.
ඔවුන්ට ප්‍රතිකාර කරන අතර තුර , නිතර නිතර කෙරෙන ඒ නියෝග හමුවේ වෙහෙසට පත් වූ අපේ කාර් යය මණ්ඩලයේ අයෙක්,
“ඕනෙ ඕනෙ අයට ඕනෙ ඕනේ තැන්වලට ඇම්බියුලන්ස් ලෑස්ති කරන්න, මේ ඕගොල්ලොන්ගේ බාප්පගේ රෝහල නෙමෙයි. දොස්තරලට ඒගොල්ලොන්ගේ වැඩේ කරන්න ඉඩ දෙන්න නැත්නම් ටිකට් කපාගෙන යන්ඩ” යැයි කියනු මට ඇසිනි. ඒ සම්පත් කළමණාකරනය ඉතා දුර්වල මෙවැනි තැන් වල, අසාධ්‍ය රෝගියෙකු මේ රෝහලට පසුව ඇති මහා රෝහලක් වෙත යවා ගන්නත් ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරගන්න විඳින අමාරුව දන්නේ අප විතරක්ම බැවිනි.

Thursday, July 14, 2011

othello's syndrome සහ අපි

"පවුල් ආරවුල් විසඳන එක අපේ ඒකකයේ කාර්යයක් නොවුනාට.. ඒක ඉබේම අප ඒකකයට බාරදීලා වගෙයි දැනෙන්නේ.." අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අප හා පැවසුවේ එලෙස අප වෙත යොමුවී තිබූ පවුලක ආරවුලක් සමතයට පත් කරන්න වෙහෙසෙද්දීයි. මේ පවුල අප වාට්ටුව වෙත යොමු වීමට ප්‍රධාන හේතුව වූනේ එම පවුලේ ස්වාමි පුරුෂයා රෝහල් ගත කර තිබූ නිසා.පුරුෂයා රෝහල් ගත කර තිබුනේ රසායනික පොහොරක් පානය කර දිවි නසා ගැනීමට හදපු නිසා. ඔහු හා කතා බස් කරද්දී වැටහුනේ ඔහු මානසික වශයෙන් බොහෝ ලෙස පීඩා විඳින්නෙක් බව.

දරු දෙදෙනෙකුගේ මව් පියන් වන මේ තරුණ යුවල එකිනෙකා දිහා නොබලන්නට තරම් විරසක වී සිටියා. බාල වයසේදී විවාහ වී සිටි ඔවුන් දෙදෙනාම විසි අට හැවිරිදි වියේ පසුවූවා.


අපේ මේසය දෙපස හිඳ ගෙන සිටි අඹු සැමි යුවල එකිනෙකාට පුප්පන්නට වීය. පෙර දිනයක මා වාට්ටුවේ සිටින වෙලාවක එහි පැමිණී එම පුරුෂයාගේ බිරිඳ මා වෙත ඇවිත් ඇසුවේ තනියම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියායි.

"මම ආවේ එයාව බලන්න්න නෙමෙයි. මට දුක් විඳලා ඇති වෙලා ඩොක්ටර් "

"හැමෝම ඉතින් ඔහොම තමයි කියන්නේ. හැමෝම දුක් විඳිනවා හැමෝටම දුක් විඳලා ඇති වෙලා තමයි."

අසල සිටි අපේ ජේෂ්ඨ වයසක හෙදි සොයුරිය අපේ කතාවට සම්බන්ද වීමේ අරමුණින් එතැනට පැමිණියා. කොහොමත් ඇය වාට්ටූවේ සිටින රෝගීන් ගැන විමසිලිමත්. ඒවගේම වයස අඩු අපිට ජීවිතේ ගැන වැඩි තේරුමක් නෑ කියලා වහෙන් ඔරෝවෙන් නොයෙක් වෙලාවට කියන්නත් වාට්ටුවේ කුමන ප්‍රශ්නයකට හෝ හොට දාන්න, අපේ අදහස් වල වෙනසක් කරන්න මේ අපේ ජේෂ්ඨ හෙද සොයුරියට පුළුවන් කමක් තියෙනවා ඒ අපේ හිත් වල ඇය ගැන තිබෙන ලෙංගතු හැඟීම නිසා. නමුත් ඇත්තටම සායනික දැනුම ඇරෙන්න ජීවීත දැනුම අඩු අපිත් ඇයට සලකන්නේ අපේ වැඩිහිටියෙක් හැටියට මිසක් ඇය ගැන අපිට කිසිම අවස්ථාවක තරහා යන්නේ නෑ. මොකද මේ වාට්ටුවේ අනික් හෙද සොයුරියන්ද වෛද්‍යවරයාට උපරිම ගෞරවයෙන් සලකන අප හා මිතුරන් මෙන් ක්‍රියා කරන අය බවට පත්වුනේ ජේෂ්ඨ හෙද සොයුරිය නිසාම බැවිනි. අනෙක් වාට්ටූවල සීමාවාසික වෛද්‍යවරු හා ගැටෙන්නම වෛද්‍යවරයාගේ වැරැද්දක් හොයන්නම සැදී පැහැදී සිටීන හෙද හෙදියන් දකිනකොට අපට අප ගැන ආදරෙන් කටයුතු කරන අය සීටීම කෙතරම් හොඳද කියාමයි සිතෙන්නේ. වාට්ටුවේ සායනික වටවල අතපසුවීම් හසු වෙනකොට අපේ කෑ ගැසීම් ඉවසා සිටින්නත් ඒවාට හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නත් ඔවුන් සියලු දෙනා කටයුතු කරද්දී එලෙස කෑ ගැසීම ගැන අපටම ඇති වෙන්නේ ලැජ්ජාවක්. නමුත් කේන්තියෙන් පුපුරා බැන අඬ ගසන හෙදියන් වෙනුවට කාරුණික හෙදියන් මේ වෛද්‍ය වාට්ටුවේ සිටීම අප ලද භාඟ්‍යයක්.
ඉතින් කලින් සඳහන් කළ 28 හැවිරීදි තරුණ මව මා ඉදිරිපස අසුනේ හිඳ ගනිද්දී කිසිදු ඉරියව්වක් හැඟීමක් නොමැති ඇගේ සුදු මැලි වී ගිය මුහුණ ඇතුලට ගිලුනු ඇස් වල පිරී තිබුනූ කඳුළු කියා පෑවේ දුක්බර ඉතිහාසයක සුළ මුලයි. ඇයට අපි කල්පනා කියමු.

"මම බැන්දේ අවුරුදු 18 දී. මෙයා මා එක්ක කතා බස් කරලා කරලා ඒයාගේ ඒ අදහස් වලට කැමති වෙලා මම ගෙදරට විරුද්ධව කසාද බැන්දේ. ඒත් මම ඒ ලෙවල් පාස් වෙලා බාහිර කරලා රස්සාව හදා ගත්තා. ලොකු පුතාට දැන් වයස 9යි විභාග කලේ දරුවා ඔඩොක්කුවේ තියාගෙන පාඩම් කරලා. මෙයා ආරක්ෂක සේවයට ගියා. ටික ටික බීමට ඇබ්බැහීවෙලා අන්තිමේ ගෙදර එන හැම වෙලාවෙම බනීන්නයි ගහන්නයි මාව සැක කරන්නයි පටන් ගත්තා. ගිය සතියේ සෙල් ෆෝන් එකත් කුඩු කරා. මට වෙන මනුස්සයෙක් ඉන්නව කියනවා ඩොක්ටර් මට වෙන මනූස්සයෙක් ඕනෙ නම් මම මොකටද දුක් විඳගෙන මෙයා එක්ක හිටියේ අවුරුදු 10 ක්ම. දැන් දෙවෙනි බබාට මාස 9 ඒ දරුවා මෙයාගෙද සැකයිලු. ගෙදර ආවම බයිසිකල් මාක් මිදුලේ තියෙනවා කියලා මිදුලට වෙලා ඒවා චෙක් කරනවා. මම දැන් ඉන්නේ අම්මලගෙ ගෙදර. මම දන්නෙත් නෑ සමහර වෙලාවට වත්තේ හැංගිලා ගේ දිහා බලාගෙන ඉන්නවා. ගෙදරට යන එන අය ගැන.මම මේ හැම දේම කරේ මගේ උවමනාවට කියලා කියනවා. එයාව බැන්දේ, ළමයි හැදුවේ , ගෙවල් හැදුවේ. මට ගුටි කාලා ඇති වෙලා මම තනියම ඉන්නම් ඩොක්ටර් කොහොමත් මේ මනුස්සයා මාව දාල ගිහින් මාස ගණන් පිට ඉඳලා එන්නේ...දරුවාටත් ගහනවා ලොකු පුතා කියන්නේ ලොකු උනහම තාත්තාට අම්මාට ගහන්න දෙන්නේ නැහැ කියා. දරුවොත් දුක් විඳිනවා " මේ ඇය කියූ විස්තරයෙන් කොටසක්.
දරුවන්ට තාත්තා කෙනෙක් සීටිය යුතු බවට ජේෂ්ඨ හෙදි සොයුරිය තර්ක කරයි
මෙහෙම අමනුස්සයෙක් එක්ක ඉන්න පූළුවන්ද... මම ඉන්නේ වෙනත් මතයක. ඒත් මගේ හිතේ නැගෙන සිතුවීලි පිට නොකරන්නට මම බොහෝ වෙහෙස ගත්තා මොකද අන්තිමේ. ඩොක්ටර් මෙහෙම කිව්වා කියලා හතර වටේ යන්නේ මගේ නම නිසායි.

ඇගේ කතාව අවසානයේ මම ඇයට පසු දින උදෑසන පැමිණ අප රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ තුමා මුණ ගැසෙන සේ උපදෙස් දුනිමි. මන්ද ඇය කියන ලක්ෂණ අනුව ඔහු තුල පවතින සැකය හා අනෙකුත් මතයන් වලට උපදෙස් දීමට සුදුසුම පුද්ගලයා ඔහු බැවිනි.

ඒ අවස්ථාවට මමද සහභාගි වුනෙමි.ඒ මනෝ වෛද්‍ය ඒකකයේ වැඩ බලන වෛද්‍යවරයා ලෙස නොයෙක් වර මමද එහි සේවය කළ නිසාය.
"මෙයාට වෙන මිනිස්සු ඉන්නවා. එයා රස්සාවට යනවා එපා කියද්දි. ෆෝන් පාවිච්චි කරනවා" ඔහු පවසන්නට විය.
ඔහු ඉගෙන ගෙන ඇත්තේ 10 වසරට පමණි. තම බිරිඳ තමාට වඩා උසස් රැකියාවක් කිරීම ඔහුට අද මදි පුංචි කමකි. ඇය ගැන තොරතුරු සොයන්නට පසු පසින් යන එකද වත්තේ සැඟවී සිටින එකද අනෙක් චෝදනාද ඔහු පිළිගත්තේ. මට මෙයාව සැකයි ඒකයි කියමින්. එලෙස බහින් බස් වූ දිනයක ඔහු ඇගේ ජංගම දුරකථනය කඩා කුඩු කර ඇයට පෙනෙන්නට වස බෝතලයක් කටේ හලාගෙන තිබේ.

ඔහු කතා කරන විලාශයද අසාමාන්‍යයි. කෙතරම් සමතයකට පත් කරන්න හැදුවත් ඇය ඔහු ඉදිරියේ කොතරම් කිව්වත් ඔහුගේ සැකය එසේමයි ඔහු කියයි. ඔහුගෙන් වෙන්වෙන්නට ඇය පොලිස් පොත් වල පැමිණිලි දමා ඇති බව ඇය අවසානයේ කීවේය. ඒ ඔහු ඒ කෝලාහලය වූ දින ඇගේ මවට ගසා අත කැඩී ඇය රෝහල්ගත කරන්නට සිදු වූ බැවිනි කථා බහ අවසානයේ අප විශේෂඥ තුමාගේ මතය වූයේ ඔහුට ඇත්තේ "Othello syndrome" යනූවෙන් හඳුන්වන මානසික රෝගී තත්වය බවයි. මේ නිසා තම බිරිඳ හෝ සැමියා දෙස සැකයෙන් බලන්නටත් ඇතැම් විට කලහකාරී ලෙස හැසිරෙන්නටත් රෝගීන් පෙළඹෙනවා.

ඔවුන්ගේ පවුල් ප්‍රශ්ණයට විසඳුමක් නොමැති තැන අපේ විශේෂඥතුමාගේ මතය වූනේත් ඔවුන් වෙන්විය යුතු බවය. මේ මෙවැනි ප්‍රශ්ණ නිසා අප වෙත පැමිණි එකම අඹු සැමි යුවල නොවේ. මෙවැනි කතා සිය ගණනින් අසා ඇත දැක ඇත නමුත් අවසානයක් නැත. සියල්ලෝම තමන්ගේ හිතැඟි ඉටු කරගන්නට තම තම නැණ පමණින් කටයුතු කරන්නේ අන් ජීවිත ගණනාවක් අඳුරේ හෙළමිනි. තාත්තා නැතිව ජීවත් වෙන්නට සිදු වන දරුවන්ද , දෙමාපියන් නැතිව තනිවන දරුවන්ද අවසන විඳින්නේ කෙතරම් පීඩනයක්දැයි මෙහි ඇති අනාථ නිවාස වල සායනවලට යද්දී හොඳාකාරවම අපි දැක ඇත්තෙමු.
ඉහත සිදුවීමේ අවසන විශේෂ්ඥ වෛද්‍යතුමා අප දෙසට හැරී මේ ගැන අපි හිතන්නේ මොනවාදැයි ඇසුවේය.
"මම තාම බැඳලා නැති එක ගැන සැනසීමක් දැනුනා (I said, "Im glad that Im not married")" යන්න මගේ කටෙන් එක විටම පිටවුනූ වචන පෙළයි.

Monday, July 11, 2011

කාටද සතුටූ...පිස්සුනේ...? ඉන්දු සහ ෆේස් බුක්

"ගුඩ් මෝනින්ග් ඩොක්ටර්" ඉන්දු (මෙය අනවර්ථ නාමයකි) මා දුටු විගස කරමින් සිටි වැඩය නවත්තා කොහේ හිටියත් කෑ ගසයි. ඇය මෙම රෝහලට අමුත්තියක් නොවේ. ගෙදර තියාගෙන ඉන්න බැරි වුන නිසා රෝහලටත් එතැනින් රැඳවුම් නිවාසයකත් එතැනින් පැන ගොස් අසුවූ විට නැවත රෝහලටත් මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් සිටින ඈ එක තැනක රඳවා ගැනීමට ඇති අපහසුව නිසා අප අංශයට ලොකුම හිසරදයක් වී සිටී. රෝගීන් බැලීමට අමුත්තන් එන වෙලාවට ඈ ගැන විශේෂයෙන් සැලකිලිමත්ව සිටිය යුතු වේ. අමුත්තන් රොත්තට එකතුවී වාට්ටු කාර්‍යය මණ්ඩලයේ ඇස් වසා, රෝහලෙන් පිට ගිය වාර අනන්තය. කොරිඩෝ වල ඇවිදිමින් සිටියදී අප පැමිණෙන වෙලාවට අපි එක්කරගෙන ආ වාර අනන්තයි.
ඇය 30 හැවීරිදිය. ඉතා ලස්සනය. නමුත් 23 හැවිරිදි කාලයේ සිටම ස්කිසොෆ්‍රේනියා (schizophrenia ) නම් මානසික රෝගයෙන් පෙළෙන්නියකි. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරපු අයෙකි. උසස් පෙළ විභාගය ගැනීමට පෙර මානසික රෝගය උත්සන්න වූයෙන් මෙහි පැමිණියාය. තවමත් ඇයට සම්පූර්ණ සුවයක් නැත. මූලිකම හේතුව අම්මාගේ ආදරය හෝ පවුලේ අන් අයගේ ආදරය නොමැතිව තැන් තැන් වල හැදෙන නිසාය.
ඇගේ මවටද මෙම රෝගයම ඇති නිසා අම්මා සහ ඉන්දු එකට එකතු කරන්නට අපි ගන්නා වෑයම ගඟට කැපූ ඉණි මෙන් නිරර්ථක වන්නේය.

මෙවර ඈ එකතු කරගෙන ආවේ ඇය සිටි රැඳවුම්/අනාථ නිවාසයෙන් තුන් වෙනි වතාවටත් පැන ගොස් ඒ අසල ගමක බොක්කුවක් යට සිටියදීය. ගැහැණියක් නිසා අපචාරයට ලක්වීමට ඇති ඉඩකඩද වැඩිය. හරියට පවුලෙන් හෝ හිතවත් අයගෙන් සහයෝගයක් නැතීව හැදෙන නිසා ඇගේ මානසික රෝගයේ අඩුවීමක් දකින්නට අමාරුය. තමන් ගැන හෝ වට පිටාව ගැන වගක් නැත. දැනෙන දේ සියල්ල එලෙසින් කියවයි(Hallucinations), මැවී පෙනෙන දේ සියල්ලද කියවයි. කිසිම දෙයක් ගැන ඇල්මක් බෑල්මක් නැත.
කොන්ඩය හොඳින් පීරා තරහ ගිය වෙලාවට ඉරලා නැතිව ඉතිරී වුන ඇඳුමක් ඇඳගෙන රෝහලේ මල් පැල තවානට වතුර දමයි. තරහ ගිය වෙලාවට කා එක්ක හෝ රණ්ඩු ඇල්ලීමට මාන බලයි. ඇඳගෙන ඉන්නා ඇඳුම් පවා ඉරා දමයි. තරහ නිවුන පසු ඉරිච්ච ඇඳූම් තුරුලු කරගෙන වැලපෙයි. ඇයට කෝපය එන එකටත් , නිදිමත නොඑන විටදිත්, නිදි මත වැඩි විටදිත් යන සියල්ලටම පළි වෛද්‍යවරු වන අප සහ බෙහෙත් දෙන නර්ස් මිස්ලාය.
ඇය මෙලෙස කලබල කරද්දී වාට්ටුවේ තනි කාමරයට ඇයව දමා වසනු හැරෙන්න යමක් කිරීම අපහසුය නැත්නම් අවට සිටින සියල්ලන්ටම ගුටි බැටදෙයි.

කාමරයේ තනි වූ විට "ඇයි අම්මේ මාව මෙහෙම තනි කරලා අත ඇරලා ඉන්නේ. මම අම්මාගේ දරුවෙක් නෙමෙයිද.. අම්මාට මාව එපා නම් පොඩි කාලේ මරලා දැම්මේ නැත්තේ ඇයි. මට ජීවත් වෙන්න එපා වෙලා අම්මේ .. මෙහෙම අනුන්ගේ තැන්වල" කිය කියා ඉන්දු විලාප තියයි. එවා අසා ඉන්න හරිම අමාරුයි. සංවේදී හදවත් ඇති කාගේ උනත් දෙනෙතට කඳුළක් නැංවෙනවා නියතයි.

ලැප්ටොප් එකත් උස්සාගෙන මම රාත්‍රී වැඩ මුරය නියමිත දින වල හවසට එහි යන්නෙමි, වෛද්‍ය හිඟය නිසා මෙම මානසික සෞඛ්‍යය වාට්ටුවේ වැඩබලන වෛද්‍යවරයා ලෙසද උන්නු ගමන් මමද සේවය කරමි. මම ලැප්ටොප් එක දිග ඇරගෙන බ්ලොග් සටහන් ලියන අතරම මූණු පොතේද එහෙ මෙහෙ යන්නෙමි. නර්ස් මිස්ලා වැඩ කරන මේස දෙකින් එකක් ළඟ තිබෙන ප්ලග් පොයින්ට් එකේ, බැටරිය මිය යමින් පවතින ලැප් ටොප් එක ප්ලග් කරගනීමි. අප වෛද්‍යවරුන්ගේ කාමරයේ ප්ලග් පොයින්ට් එකක්වත් වැඩ කරන්නේ නැත. ඒවාට කොතරම් පැමිණිලි ලිව්වත් හදන්නේද නැත එක්කෝ ඒවා හැදෙන්නේ නැතිවා ඇති.
ඉන්දු ද එහෙ මෙහෙ කැරකෙන ගමන් මා අසලට පැමිණ ලැප් ටොප් එක දිහාට එබෙයි.

"මොකද්ද මේ" face book පෙන්වමීන් ඇය මගෙන් අසයි. මම මුහුණු පොත ගැන විස්තර කර දුනිමි.

"මොකටද මෙහෙම ඒවා ?" ඇය මගෙන් විමසයි.

"මුණගැහෙන්න බැරි යාලුවන්ගේ විස්තර දැනගන්න. කතා කරන්න to stay connected" මම ඇයට විස්තර කරමි.
මගේ යහළුවෙකුගේ මගුල් ගෙදරක්. දරුවෙකුගේ උපන්දිනයක් වගේම, එදිනෙදා ජීවිතයේ නොයෙක් ෆොටෝ සහ පළ කල දේ මම බලමින් සිටියෙමි.

"මගුල් ගෙවල් ගන්න එකනම් මහම මහ මෝඩ වැඩක් නේද ?" ඉන්දු මගෙන් අසයි.

"ඇයි එහෙම කියන්නේ" මම මගේ හිනාව තද කරගෙන ඇසූවෙමි.

"බොරු සල්ලි නාස්තියක් විතරයි"

"ඉන්දුට විතරයි ඒක තේරුනේ" මමත් නර්ස් මීසුත් ඇයට ප්‍රශංසා කරද්දී ඇය කියන දේට එකඟ වීම ගැන ඇයට සතුටක් ඇතිවුනු බව මුහුණෙන්ම පෙනේ.

"ඇයි මෙහෙම පොටෝ දාන්නේ" ඇය ලැප් ටොප් තිරය මත දිස්වූ පින්තූර රොත්ත පෙන්වමින් විමසයි

"අනිත් අයට බලාගන්න."

"ඉතින් වැඩක් නෑනේ. එහෙම වෙන දේවල් ඔක්කොම හැමෝටම පෙන්නන්න ඕනෙ ඇයි ?" ඇය විමසයි.

"හොඳ ප්‍රශ්ණයක් ! මමත් තාම හරියටම උත්තරේ දන්නේ නෑ. සමහර විට සතුටක් දැනෙනවා ඇති " මම පිළිතුරු දුනිමි

"කාටද සතූටු ? "

"බලන අයටයි , ෆොටෝ දාන අයටයි " මම කීවෙමි.

"හි හී ...පිස්සුනේ ..." එහෙම කියමින් මහ හඬින් හිනා වෙමින් ඇය වාට්ටුව වෙත දිව ගියාය.

මගේ හිත මොහොතකට හිටිවනම නැවතුනේය. මානසීක රෝගී ලේබලය අලවා බෙහෙත් කරන ඇය අප මේ කරන දේවල් පිස්සු වැඩ ලෙස දකී, වැඩක් නැති නිසරූ දේවල් කියා කියයි ! වරද ඇත්තේ කොතැන ද ? ඇය කියන දේ හරිද ? අපි හරීද ?

Thursday, July 7, 2011

වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි....2

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය හා සම්බන්දයි...

"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .

නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.

වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.

කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.

මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.
වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.

මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල සිට දැන සිටියෙමු. දැන් දැන් කියවෙන ආසනික කතාව නිසා එය එසේමයැයි සිතේ. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.

අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

Tuesday, July 5, 2011

වකුගඩු රෝගය සහ අපි.. 1

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ , වකුගඩු රෝගය එක්ක ඔට්ටු අල්ලන අපිට ඒ ගැන කියන්න කතා බොහෝමයි. ඒ හැම එකකම අවසානය දුකක් ! ඒකතා සේරම ජීවිතයක් බේරන්න ජීවිත ගොඩගන්න කරනා අරගලයන්‍ ය.

අප වාට්ටුවේ බොහෝ කලක් නැවතී සිටි සිරිසේන මියගොස් තිබුනු ආරංචිය අප වෙත ගෙන ආවේ අප රෝහලේම වැඩ කරන ඔහුගේ ඥාතියෙක් විසින්. දරුවන් තිදෙනෙක් සිටින ඔහු කුඹුරු වැඩ කළ දක්ෂ ගොවියෙක්, වයස අවුරුදු 45 කි. ඔහු වකුගඩු රෝගයේ අවසාන අඩියේ (end stage renal failure ) සිටි අයෙකි. රුධිරය පෙරීම (heamodialysis) සඳහා අනුරපුර මහ රෝහල වෙත නොයෙක් වර ඇතුල් වී සිටි ඔහුට වකුගඩුවක් බද්ධ කළහොත් තව කලක් ජීවත් වීමේ භාග්‍යය හිමි වෙන බවද ඒ සඳහා උනන්දුනම් පමණක් නැවත එවිය යුතු බවද එම රෝහලෙන් අප වෙත ලියා දන්වා තිබුනි. වකුගඩුවක් බද්ධ කිරීමටනම් තමන්ගේ කෙනෙකුන් ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. නැත්නම් වකුගඩු රෝගය විසින් ඔවුන් මරණය කරා කැන්දන් යන තෙක් නොයෙක් පෙතිවර්ග ගනිමින් ජීවත් විය යුතුය. මේ දෙනු ලබන පෙති වල උනත් වකුගඩු වල තත්වය හොඳ කරන පෙත්තක් නොමැත. වකුගඩු අකර්මන්‍ය වීම නිසා ශරීරයේ අඩුවන කැල්සියම් සහ හිමෝග්ලොබින් තත්වය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුලික පෙති වර්ග පමණක් රෝහල් වලින් ලබා දේ , ඒවාද ඇතැම් විට රෝහල් වල නොමැත, out of stock ය.
වකුගඩු රෝගයෙන් පෙළෙන මේ උතුරු මැද , සහ උතුරු ප්‍රදේශයේ සිටින මේ වැසියන් බොහෝ දෙනෙකුගේ ඉරණම එසේය. හැම කෙනෙක්ටම haemodialysis , peritoneal dialysis නමින් හඳුන්වන වකුගඩු වලින් පෙරා ඉවත් කරන ශරීරයට අහිතකර විස සහිත දෑ ශරීරයේ ගොඩ ගැසුනු විට එම රුධිරය පෙරා ඒවා ඉවත් කිරීම සිදු කරන්න යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , විශේෂඥ වෛද්‍යවරු හෝ ප්‍රාග්ධනය නොමැති වීම නිසා බොහෝ විට වයස , වකුගඩු රෝගයේ තත්වය, සහ වකුගඩු බද්ධ කිරීමට ඇති හැකියාව සලකා බලා ඔවුන්ව අනුරපුර වකුගඩු සායනයට යොමු කරනවා.
අවසාන අවස්ථාවේ ආසාධ්‍යය තත්වයෙන් රෝහල් ගත වෙන අයහට බොහෝවිට අත්වන්නේ මරණය යි. සමහර පුද්ගලයින් තමන් පෙළෙන රෝගය ගැන වටහාගෙන බද්ධ කිරීමක් හෝ විශේෂ ප්‍රතිකාර අවැසි නැතැයි කියා මරණයට සූදානමින් කල් ගෙවනවා. එලෙස අප අනුරපුර වෙත යොමු කල එක් කාන්තාවක් අප වාට්ටුවට ඇතුලත් කර තිබුනේ ඇගේ සායනික සටහන් ගොන්නත් සමගින්. 52 වියේ පසුවූ ඇය ඇඳකට දමා රුධිර පීඩනය ආදිය පරීක්ෂා කර බලද්දී අප විමසුවේ “ඇයි වකුගඩුවක් බද්ධ කරගත්තේ නැත්තේ” කියායි.
“මම නිසා දරුවෙක්ට කරදර කරන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ පිනක් දහමක් කරගෙන සිටියාම අහවරයි” යන්න ඇගේ පිළිතුර විය. ඇගේ රුධිරයේ පරීක්ෂා කරන්නට අවශ්ය ක්රියැටිනින් අගය , හිමොග්ලොබින්. සහ K+ පොටෑසියම් යන මේවා පරීක්ෂා කිරීමට ලැබ්, lab එකට රුධිරය යවා අප මදක් විවේකීව සිටියේ එය රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණෙන වේලාව බැවිනි. සවස හය වෙනවාත් එක්කම අප විවේක කාමරය වෙත දුරකථනයෙන් කතා කල හෙදිය පැවසුවේ මැණිකේ නැමැති එම කාන්තාව හුස්ම නොගන්නා බවය. එවිට විවේක කාමරේ සිටි අපි තිදෙනෙක්ම හැකි ඉක්මනින් ඇය වෙත දිව ගියෙමු.
අමුත්තන් සියල්ල ඇය වටකරගෙන ලතෝනි තියන්නට පටන් ගෙන තිබුනි. ඇගේ ස්වාමියා අපට ඇය වෙත ළංවීමටවත් නොහැකි ලෙස ඇය බදාගෙන අඬමින් සිටියේය. මෙවැනි විටකදී අප ඉතා තදින් ක්‍රියා කිරීමට පුරුදු වී සිටියෙමු. පළමුව රෝගියා ! ඉන්පසු අනෙක් ඕනෑම දෙයක් යන්න අපේ සිතුම් පාඨය විය. උස් හඬින් කෑ ගසා වැලපෙන්නන් ඉවත් කරන්නට වූයේද අපටමය. ඉන්පසු හර්ද ස්පන්දනය , හුස්ම වැටීම සහ නාඩි බලා ගැන්මට විශේෂ මොනිටරයට සවි කර කෘතිම ස්වසනය දෙමින් රෝගියාව දැඩි සත්කාර ඒකකය වෙත තල්ලු කළෙමු. කොරිඩෝව පුරා අමුත්තන් පිරී තිබුනු එවේලේ එක් අයෙකු හර්ද ස්පන්දනය සඳහා පිටතින් මසාජ් කරමින්ද මම කෘතීම ස්වසනය සඳහා නහය කට වටේ තද කරන කෘතිම ස්වසන මෙවලමද (air bag ventilation) එක අතකින් එහි බැලූනය ඔබමින්ද තව කිහිප දෙනෙක් ට්රොලිය තල්ලුකරමින් ද හදිසි සත්කාර ඒකකය වෙත ගියෙමු. එහිදී සිටි ජේෂ්ඨ වෛද්‍යවරිය සමග දෙවරක් පමණ හර්දය වෙත විදුලි සැර දී ඇගේ හර්දය පණ ගන්වා ගත්තෙමු. දැඩි සේ වෙහෙසව සිටි අපට මොනිටරයේ හර්ද ස්පන්දනය ඇහෙනවාත් සමග ඒ හර්ද තරංග රේඛාව දුටු විට හැඬුම් ආයේය. ඒ ජීවිතයක් බේරා ගත් සතුටටය. එ වේලේ විවේකාගාරයේ සිටි අපි වෛද්‍යවරුන් තුන් දෙනාම (දෙදෙනෙකු අනිත් වාට්ටුවක සේවය කරන අයය) එතැනට ගිය නිසා අපට ඉක්මනින් ක්‍රියාත්මක වී ඇගේ ජීවිතය බේරාගත හැකි විනි. නමුත් බොහෝ විට එක වාට්ටුවක සේවය කරන්නේ එක වෛද්‍යවරයෙකු පමණි. එක වෛද්‍යවරයෙකුට ඒසා සියල්ල සිදු කිරීම අපහසුය. එවැනි අවස්ථාවක පුහුණු හෙද, හෙදියන් මෙන්ම සාත්තු සේවකයින්ද සිටිය යුතුමය. සීමාවාසික වෛද්‍යවරයෙකු සේ සේවය කරද්දී මෙවැනි අඩුලුහුඬුකම් බොහෝමයක් දුටුවෙමි. වෛද්‍ය පුරප්පාඩු මෙවැනි මහා රෝහලකත් බොහෝ ඇති නිසා රෝගීන්ට සිදුවන අසාධාරණය කොතරම්දැයි කිව නොහැක. පසුගිය දිනෙක පුවත්පතක මා දුටුවේ අප රටේ රෝගීන් 1334 කට සිටින්නේ එක වෛද්‍යවරයෙකු බවයි. එනමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති නිර්ණායකය වන්නේ රෝගීන් 400කට එක වෛද්‍යවරයෙක් යන්න ය.
හදිසි සත්කාර ඒකකයෙන් (ETU)අපි පිටතට පැමිණියේ වීරයන් මෙනි. එයින් පිටත බලාගෙන සිටින මැණිකේ මහත්මියගේ ඥාතීන්ට කියන්නට අපට ඇත්තේ සතුටු පණිවිඩයක් හෙයිනෙ. එනමුත් වකුගඩු රෝගයේ අසාධ්‍යම තත්වයේ සිටි ඇයට මේ අප රැක දුන් පණ කෙන්ද තව ඉතා කෙටි කාලයකට බවද අපි දැන සිටියෙමු..... !