Pages

Sunday, June 19, 2011

අමතක වුනු ලිවීම..

යුද්ධය පැවති... නිම වූ... යළි පිබිදෙන ප්‍රදේශයක බොහෝ කල් සේවය කරමින් ඉන්ඳැද්දීත් ඒ අත්දැකීම් නොලියන්නේ ඇයි කියලා හැමතැනින්ම ප්‍රශ්න. අත්දැකීම් කෝටියක් තිබුනත් ඒ කාලේ මතක් වෙද්දි හිතට දැනෙන්නේ වෙහෙසක් දුකක් සහ තේරුම් ගන්න බැරි අමුතුම හැඟීමක්.

ඩෙංගු සමග පොර බැදීම.
ආයෙමත් හිස ඔසවන ඩෙංගු වචනය ඇහෙනකොටම මතක් වෙන්නේ අපේ වාට්ටුවල ඩෙංගු එක්ක අපි කරපු හරඹයයි. වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කළ කාලයේ... මේ ප්‍රදේශයට වට වැස්සත් එක්ක හිස ඔසවපු එක මාරයෙක් තමයි ඩෙංගු.
වාට්ටුවේ දවසකට ඩෙංගු උණ රෝගයෙන් පෙළුනු රෝගීන් 4 දෙනෙකුට අඩු නෑ. වාට්ටුව බාරව හිටියෙත් මම විතරයි. ඒ අයගෙන් දෙන්නෙක්වත් හමුදාවල සේවය කරන්නන්. උතුරු පළාතටම තිබුනු මූලික රෝහල මෙය නිසා හැම ජංජාලයකම අවසන් වෙන්නේ අපේ රෝහලෙන් තමයි. ඇඳන් උඩත් ලෙඩ්ඩු ඇඳන් යටත් ලෙඩ්ඩු. ඇඳක සමහර විට ලෙඩ්ඩු 3 දෙනයි. ward round හෙවත් උදේ හවස අපේ ලෙඩ්ඩු බැලීමේ වටය පටන් ගන්නේ පැය 2 කලින්. නැත්නම් සියල්ලන්ගේම ප්‍රෙෂර් නාඩි බලා අවශ්‍ය පරීක්ෂණ කරන්න වෙලාව මදි. කලබලේ කොතරම්ද කියනවානම් එහෙම එක ඇඳේ දෙතුන් දෙනා සිටින දිනක මගේ එක යහළුවෙක් රෝගියා බලා ගන්න සිටින කෙනාගෙත් නාඩි බලා තිබුනා.
ඒ අතරින් දෙදෙනෙකුවත් හමුදාවේ අය, එක්කෙනෙක් හෝ දෙන්නෙක් අයි. ඩී. පී. කෑම්ප් වල රැඳවියන්. ඉතින් එකම යුධ බිමක දෙපැත්තක සටන් කරගත් දෙපිරිස ඇඳන් දෙකක එකම මාරයෙක් හා පොර බදනවා. ජීවිතය කොයි තරම් අවිනිශ්චිතද. වාසනාවකට මා සේවය කළ කාලයේ අප වාට්ටුවේ නම් කිසිවෙකුත් ඩෙංගු වලින් මිය ගියේ නම් නැත. ඩෙංගු මැඩ පවත්වන්න රෝගී වුනු අවස්ථාවේ බෙහෙත් කිරීම පමණක්ම නොවේ, මදුරුවන් මර්ධනය කිරීමද අවශ්‍යයි. ඒ සඳහා ඔවුන් බෝ වන ස්ථාන හඳුනාගෙන ඒවා හැකි තරම් අවම කිරීමයි කල යුත්තේ.

රාත්‍රියට වාට්ටු පිරී ඉතිරී යන මදුරුවන්ගෙන් බේරී රෑකළ වාට්ටුවේ වැඩ කිරීම ඉතා අපහසුය. ඉතා දිගු ඇඳුම්ද, බාම් වර්ගද ගා ගනිමින් ඔවුන් පළවා හැරීමට බොහෝ විට අපි කටයුතු කළෙමු. කුඩා බාම් කුප්පි රැගෙන විත් ලෙඩ්ඩුන්ටද ඇතැම්විට බෙදන්නෙමු. රාත්‍රී සායනික වටයට පැමිණි අප විශේෂඥතුමා දිනක් මොකද්ද මේ සිද්ධාලේප සුවඳ යැයි ඇසූ විට ලෙඩුන් අප ඔවුන්ට ඒවා දෙන බව කියූවිට එතුමා " ඉතා අපහසුවෙන් මදුරුවන්ගේ කරදරය මැද වාට්ටුව බැලීමට පැමිණි සර් පමණක් මදුරුවන්ගේ ප්‍රහාරයට ලක්වෙද්දී අප සැම බාම් ගාගෙන මදුරුවන්ගෙන් මිදී සිටිනවා යැයි " අපට චෝදනා කරනකොට තමයි තේරුණේ අපට කිට්ටුවෙන්න බැරි මදුරුවන් සේරම සර්ට පහර දෙන බව. ලැබූ අත්දැකීම් නම් අපමණයි
තාම අත්දැකීම් එකින් එක හිතෙන් අහුලගෙන ලියමින් ඉන්නේ...