Pages

Friday, July 30, 2010

ඇස් හිස් මොළ නැති පිසාචයන් මැද...

සුළු වේලාවකට ඇහැ පියවගන්නට හිතුවත් අවශ්‍ය පරීක්ෂණයක විස්තර ලැබී ඇතැයි වාට්ටුවෙන් ලැබුනු දුරකථන ඇමතුම නිසා ආයෙත් වාට්ටුවට යන්න වුනා. පෙරදින යටිබඩේ කැක්කුමක් නිසා රෝහල් ගත වුනු 15 හැවිරිදි මවකගේ පරීක්ෂණ වාර්ථා පිරික්සා ඇයගේ තත්වය යහපත් හෙයින් ඇයව ගෙදර යැවිය හැකි බවයි අප වෛද්‍යතුමාගේ අදහස වුනේ. ඩිස්චාජ් කරන්න හෙවත් ටිකට් කපන්න නම් නේවාසික දොස්තර/හවුස් ඔෆිසර් අනිවාර්‍යයෙන් අදාල පත්‍රිකා පුරවා, රෝහල් ගත වුන කාලය ඇතුලත කරන ලද ප්‍රතිකාර සහ පරීක්ෂණ එම මවගේ මාතෘ කාඩ් පතේ සටහන් කළ යුතුයි.
මා ඉහත සඳහන් කළ අම්මා අවුරුදු 15 දරුවෙක්. ඇගේ දුක්ඛදායි කතාපුවත මුළ සිට දන්නා නිසා ඇය දකින හැම වාරයකම මගේ හිත ඇතුලේ මහා දුකක් දැනෙනවා. පොත පත පාඩමෙන් , සෙල්ලමෙන් කල් ගත කළ යුතු වයසේ පසුවන ඇයට මෙවැනි ශෝකජනක ඉරණමක් උරුම වීම පූරුවේ කළ කර්මයක් මැයි. ලේ පරීක්ෂණ මූත්‍රා පරීක්ෂණ ආදී සියල්ල සාමාන්‍ය අගයන්හි පැවතුන නිසා මම ඒ මවගේ සායන ටිකට් පතේ ඒවා සඳහන් කරමින් ඉන්නා අතරේ ඈ බලා ගන්නා ඇගේ නැන්දනිය පැමිණ මා සමග කථා කරන්නට විය.
" ඩොක්ටර් , බබා කොහොමද ?" ඇය ඇසුවා.
"ප්‍රශ්ණයක් නෑ අම්මා බබා හොඳින්. මේ දරුවත් හොඳින්. දැන් කොහොමද මේ අම්මාගේ ගෙදර තත්වය " මම විමසුවා.

" මම මෙයාගේ නැන්දා... මටත් දරුවෝ ඉන්නවා. ඒත් අපි මෙයාව බලාගන්නවා. "
"එතකොට මේ ලැබෙන දරුවා ?" මම විමසුවා.
"අපි අපේ නම් දීලා එයාවත් හදාගන්නවා. ngo වලින් මේ දරුවා ඉල්ලුවා ඒත් ඒ නිවාසෙට යැවුවොත් මෙයාට මොනවා වෙයිද දන්නේ නෑනේ " ඇය තොර තෝංචියක් නැතුව කියවනවා.
"අම්මා , මෙයාට ප්‍රශ්ණයක් නැද්ද ?" ඇය මගෙන් අහනවා. දෙමළ මිනිස්සු ගෞරවයෙන් කතා කරද්දී අපට අම්මා යැයි අමතනවා, මුලදී නම් අපිට හිතාගන්නවත් බැරි වුනා ඇයි මේ කියලා නමුත් පසුව අපේ නර්ස් මිස්ලාගෙන් අසා දැනගත්තා ඒක විශේෂ ගෞරව පදයක් බව.
අවුරුදු 15 දරුවෙක්ට දරුවෙක් ඉපදීම සමහර විට පුදුමයක් නොවන්නට පුලුවන්.ඒත් මේ දරුවාගේ කුස තුල සිටින දරුවාගේ පියා ඇගේ පියායි. මව නොමැති මේ දරුවන් හට කෑම බීම පවා ලැබෙන්නේ ඉඳ හිට නෑ ගෙවල් වලිනි.
අරක්කු මත්පැන් බී කාලය ගතකරන ,එයින් සිහි විකල්ව තම ලෙයින් උපන් දරුවා විනාශ කළ මේ පියා තම දරුවාගේ කුසෙහි දරුවෙක් ඇති බව දැනගත් දා සිය දිවි තොර කර ගත්තේය. දැන් මේ දරුවන් රැක බලා ගන්නේ නෑ හිතවතුන් විසිනි. ලෝකයක් තනන මිනිසුන්ම ඒ ලොව විනාශ කරන අයුරු දුටුවිට හිතට ඇතිවන්නේ කණස්සල්ලක්. අපේ ලොවේ අනාගතේ මේ මල් වැනි පුංචි දරුවන් ය. දරුවන්ට නිසි කළ නිසි අධ්‍යාපනයක් ලැබිය යුතුයි. මේ කුඩා දරුවා පාසැල් ගොස් නැත ඒ වෙනුවට කුඩා කළ සිටම ඇයට සිදුවුනේ ගේ දොර වැඩ කටයුතු කිරීමටය. ලොව පවතින හොඳ හා නරක යන මේ දෙක කුඩා කළ සිටම කියා දිය යුතුයි. සමාජයේ තිබෙන නරක අවැඩ ගැන මනා අවබෝදයක් ලැබිය යුතුය. මෙහි ඇති ශෝකජනක දෙය නම් ගුරුහරුකම් දී හදා වඩා ගත යුතු පියා විසින්ම ඇගේ ලෝකය විනාශ කිරීමය.
මේ ළමා මව දකින හැම මොහොතෙම මගේ හිත හඬා වැටෙනවා. විඩාබර දෑසින් ඈත බලා සිටින ඇගේ හිස් බැල්ම දකින හැම මොහොතකම මට මගේ ළමාවිය මතකයට නැගෙනවා... අපි කෙතරම් නිදහසේ කෙළිදලෙන් කාලය ගත කලාද ? නිසි අධ්‍යාපනයක් ලබා සුරක්ෂිතව ඇතිදැඩි වෙන්නට සෑම දරුවෙක්ටම අයිතියක් තිබිය යුතුයි. මේ මෙවැන්නක් සිදුවූ ප්‍රථම වතාව නොවේ... අවසාන වතාවද මෙය නොවන බව අපි අත්දැකීමෙන් දනිමු මන්ද අප සායනය වෙත මෙවැනි ළමා මව්වරු කිහිප දෙනෙක්ම පැමිණෙන හෙයිනි.