Pages

Monday, February 2, 2009

මිහි මඬලේ දරුවෝ

“Man did not weave the web of life – he is merely a strand in it.
Whatever he does to the web, he does to himself.”
Chief Seattle, 1854.
මේ ලෝකේ පවතින්නේ සොබාදහම නිසා. පොඩ්ඩක් හිතන්න අපි හුස්ම ගන්න ඔක්සිජන් ටික අපිට නැති උනොතින් මොකද වෙන්නේ ඔයාම හිතලා බලන්න. වහ ගන්න අත්ලෙන් නහයයි කටයි හුස්ම ගන්නෙ නැතුව ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. ..
වනාන්තර මැද්දේ යන ගමන් එක පාර නැවතිලා ගහක පොත්තක හරි කොළයක හරි වහලා ඉන්න කුරුමිණියෙක් දැක්කම ළංවෙලා ඒ සතාට කරදරයක් නොකර බලනවා මිසක් හිරිහැරයක් කරන්න හිත් දුන්නේ නම් නෑ. පුංචි කාලෙ ඉඳලම ගහට කොළට ඇලට දොලට සතා සීපාවුන්ට පෙම් බැන්ද නිසාම… ගහ කොළ ආරක්ෂා කරන්න සෑහෙන්න කට්ටක් කන මේ අපේ අමාරුව protect the nature කුලප්පුව… කියලයි හැඳින්වූයේ. අපි චාරිකා යද්දී උනත් වලදී නීති රීති පද්ධතියක්ම තියෙනවා. මූලිකම දේ පොලිතීන් අඩංගු කිසිම දෙයක් පාවිච්චි කරන්නේම නැති තරම්. බත් මුලේ ඉඳන්ම කෙහෙල් කොළ වල ඔතාන එන්න ඕනේ. ඊට පස්සෙ බීම ..ලොකු කඩදාසි මල්ලකට ඔක්කොම පොලිතීන් අපද්‍රවය එකතු කරනවා , බැරි වෙලාවත් ගමන් කරන අඩි පාරේ පොලිතීන් කෑල්ලක් තිබ්බොත් ඒක අපි අපේ ගමන් මල්ලට. මේවා සංසාරික පැවතුම් කියලයි වැඩිහිටියෝ කිව්වේ.

මට මතකයි ඒ කාලේ විශ්ව විද්යාලයේදී විද්‍යා පීඨයේ ශාලාවක පරිසර සංගමයේ රැස්වීම් පවා තියද්දී කෙහෙල් කොලෙන් ඔතලා කාඩ්බෝඩ් පෙට්ටි වල දාලා බත් දුන්නේ.. බීම බෝතල් වලට බීම බට දුන්නේ නෑ.. ඒවෙනුවට වීදුරු දුන්නා.. මම ඒකාලේ තර්ක කලා.. එතකොට වීදුරු හෝදන්න වතුර නාස්ති වෙනවනේ.. වතුරත් සම්පතක්නේ කියලා. ඒත් පොලිතීන් ව්‍යයසනයට වඩා වතුරෙන් හෝදලා වීදුරු පාවිච්චි කරන එකනම් හොඳයි කියලා දැන් හිතෙනවා.
හැමෝම සිරිපා කරුණා කර අවසන් වූ පසු සිරිපාදෙ නගින සංගමයේ කට්ටිය පහළට එන්නේ පොළිතීන් කුණු රොඩු ගෝනි කර බැඳගෙන. ඒක කිසිම මුදලකට යටත් නොවූ සේවයක්. “සමනළ කන්දට වඩා ලොකු පොලිතීන් කන්ද.. ” ඒ කාලේ පත්තර වල ඔහොම පළ වුනා ෆොටෝත් එක්කම.
…මහ පොළව කියන්නේ අම්මා කෙනෙක්. එයාට දඩබ්බර නොසන්ඩාල දරුවෝ වගේම බොහොම ආදරණීය දරුවොත් ඉන්නවා. අපිට අර පොඩි කාලෙ ඉඳන්ම මේවා රැකගන්න ඇම්මක් තියෙන නිසා ඒ එන අමාරුව මැඩගන්නේ නැතුව වැඩ කරන්නේ. හැමෝටම එහෙම අවශ්
යතාවයක් එන්නේ නෑනේ. අනික සැරෙන් සැරේට මිහි මඬලේ දරුවෝ එළි බහිනවා ඒ අය මේ හැම දෙයක්ම පුළුවන් විදියකට රැක ගන්න බලනවා… නමුත් මේ හැම දේම තාවකාලිකයි. කවදා හෝ මේ සියල්ල නැති නාස්ති වී යනවා.

… මේ ගඟ නිසා ඉස්සරහට මෙහෙම විනාශයක් වෙනවා.. මේ කන්ද නාය යන්නේ මේ නිසා. … ඇයි මිනිස්සුන්ට මේවා පෙනෙන්නේ නැත්තේ. …ආ අර පයිනස් ගස් වගාව නිසා අපේ රටේ කඳුකර පරිසර පද්ධතියට වෙන විනාශය ගැනත් කාලයක් තිස්සේම කියෙව්වා… වැසි වනාන්තර විකිණීම, පරිසර පද්ධති විනාශ කිරීම ගැන ඒ තැන් වලට ගිහින්ම බහින් බස් වුනු කාලයක් තිබුනා.
“How can you buy or sell the sky, the warmth of the land? The idea is strange to us.If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them? ” Chief Seattle, 1854
… පරිසරයට බද්ධ වෙච්ච අයට ගහකින් කොළයක්වත් මලක්වත් කඩන්න හිත් දෙන්නේ නෑ. ඒක ඒ අයට තමන්ගේම අත පය කපාගන්නවා වගේ දැනෙන්නේ… කතාව ඇත්ත මේ අදහස් නිසා මටත් ගහකින් කොළයක් මලක් කඩන්න නම් බැහැ.
මේ ගහකොළ ඇල දොල නැති වෙච්චි දවසට මේ ලෝකය කොයිතරම් මුඩු හිස් තැනක් වේවිද.

Sunday, January 25, 2009

එක දවසක් හැන්දෑවක...

කියන්න බොහෝ දේවල් හිත තුල පොදි ගැහිලා, එළියට පිටවෙන්න වචන හිත තුල නලියනවා. ජීවිතේ ගැන බොහොම සරලව හිතපු නිසා අහිමි වූ දේවල් විශාලයි.නමුත් ඒ ගැන කණගාටුවක් හිත තුල ඇත්තේම නෑ. වෙල් යායවල් නියර පිට දුවන්න ගිහින් මඩ නාගෙන, ඇලපාරවල් දිය කඳුරු දිගේ දිය බුං ගැහුව පුංචි සංදිය සිහි වෙද්දි හිතට දැනෙන්නෙ වචන වලින් විස්තර කළ නොහැකි තරම් කළ කිරීමක්. අපි විතරක් ඇයි ගමේ ඉන්නේ නැත්තේ පුංචි කාලයේ පටන් මගේ හිතේ තිබුනු ප්‍රශ්ණයක්.

ගොඩ කාලෙකට පස්සෙ ගඟ අයිනේ ඇවිදින්න ගියේ පොඩි කාලේ පුරුද්දට, පන්සල පෙනෙන දුරෙන් ගං ඉවුරේ අඩි සටහන් තියලා බලන් ඉන්න ඒ කාලෙ ඉඳන් පුදුම ආසාවක් තිබ්බේ. නිවාඩු දවසට නාන්න ඇවිදින් අම්මලා අරන් එන වතුර බොන කෝප්පෙකින් ඉවුර දිගට ඒ කාලේ මම කෝප්ප කෝම්පිට්ටු හදන්නේ මොන අරමුණකින්ද කියලා දැන්නම් හිතාගන්නවත් බෑ.

ගඟ වෙනදා වගේම දිය රැළි පදාසයකින් ඉවුර සරසං හිටියා හැබැයි වතුර බොර පාටයි. උඩහට වහින නිසා වෙන්න ඇති කියලා මට හිතුනා. අලුත් පාළමින් ටිකක් එහාට වෙන්න නාන තොටුපලක් වගේ තැනක ආච්චි අම්මෙක් නානවා. කාකි තොප්පියක් දාගෙන අරමුණක් නැතුව ඇවිදිමින් හිටිය මාව දැකලා අනුකම්පාවෙන් වගේ ඒ ආච්චි අම්මා “අයින දිගට ඇවිදින්න යන්න එපා හොර අරක්කු පෙරනවා ගඟ අයිනේ” කිව්වා. එතකොටයි මටත් හිතුනේ හිතට එන සෞන්දර්යාත්මක සිතුවිලි ක්‍රියාත්මක කරන්න කලින් කීප සැරයක් හිතන්න ඕනෑ පැති තියෙන විත්තිය.
ලෞකික ආශාවන් පසු පස දුවන දඟලන මිනිස්සු එක්ක ගැවසිලා හැමෝගෙම සිහින බලාපොරොත්තු අහගෙන හිටියම හිතෙනවා මම එහෙම නොවිච්ච එකත් මොන තරම් සැපයක්ද කියලා. දවස තිස්සෙම දඟලන නලියන දුවගෙන යන ලෝකෙක ඉඳලා මගේ ලෝකෙට ඇතුල්වෙද්දී මට දැනෙන්නේ අසපුවකට යනවා වගේ සහනයක්. ඒ සහනයත් කර පින්නගෙන කහට වැඩි කිරි තේක රහ බලන මේ සටහන ලියා නිම කළා.

When the time’s right
A new moon shines
Torn Hearts heal
this, I believe

ලියන්නට හිත හදා ගැනීම හෙවත් කාලයේ දොස

වෙනස් වෙන හිතක නොවෙනස් යම් දෙයක් තියේද ඉතිරිව ?
ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා, සමහර වෙනස් වීම් අපිට දරාගන්ට බැරි තරම් දුක උනත්, අපි ඒවාට අකමැති උනත් ජීවිතේ කොහොම හරි ඉදිරියට ගමන් කරන්න අපි උත්සහ ගන්නවා , ඒක ලෝක ස්වභාවය.

අනිත් හැමෝගෙම කරදර දුක් කම්කටොළු මගේ උර මත හෙලද්දී ඒවා දරාගෙන ඉන්නේ මට ප්‍රශ්ණ නැති නිසා නෙමෙයි. ඒත් අනික් හැමෝටම වඩා සැහැල්ලුවෙන් මම ජීවත්වෙන බව මට දැනෙනවා.

මනෝරත්න මහත්මයාගේ නාට්‍ය උළෙල පටන් ගත්තෙ ඊයෙ ජෝන් සිල්වා රඟහලේ යද්දි බස් එකේ හමු වුන ආච්චි අම්මා කෙනෙක් රුසියානු එම්බසිය තියෙන තැන ඇහුවා. මාත් කෝල් අරගෙන දන්න අයගෙනුත් අහලා යන හැටි කියා දුන්නා. එයා ඉඳගෙන හිටියෙ මට ඉස්සර සීට් එකක. ඉන්පස්සෙ ආයෙමත් හැරිලා එයාගේ දුක් කඳුලු සේරම මට කියවන්න ගත්තා. ඇගේ දියණියගේ දියණිය කියන්නේ මිනිපිරිය මොන්ටිසෝරි යන වයසේ දරුවෙක් ඒත් ඉගෙනුමට හොරයිලු. ඇයව විශේෂ පාසැලකට යොමු කරන්න අවශ්‍ය වුනත් එසේ කරන්න තරම් ඔවුනට ආර්ථික තත්වයක් නැති නිසා දොස්තර මහතා මේ දරුවා චිත්‍ර නැටුම් වැනි දේ වලට යොමු කරන ලෙස කියා තිබෙනවා. චිත්‍ර පන්තියක් සඳහා රුපියල් 1000 පමණවත් වැය වෙනවා ඉතින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නොමිලේ උගන්වන පාඨමාලා ඇති නිසා ගැන අහන්න යන බවත් පැවසුවා. හැම දරුවෙක්ම එක මට්ටමින් ඉගෙන ගන්නේ නෑ අම්මේ.. මුලදී ඉගෙනුමට හොර දරුවන් පසුව හොඳින් ඉගෙන ගන්නවා. අනික හැමෝම එක වගේ හැමදේටම දක්ෂ නෑනේ. මම එයාගේ හිත හදන්න උත්සහ කරා. ගමනාන්තය දක්වා එයාගෙ දුක් කරදර පොදි සේරම ඇරලා පෙන්නුවා පිටස්තරයෙක්වුන මට විටෙන් විට එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා හැළුනා. එයාගේ දියණියත් මන්ද මානසික මට්ටමක සිටින්නියක වන අතර ආර්ථික වශයෙන් දැඩි පීඩනයක සිටින බව පැවසුවේ. ඇගේ විශ්‍රාමික වැටුපෙන් දරුවන් ජීවත් කරවන බවක් ඇය පවසා සිටියා.
මිනිසුන් කොතරම් දුක් විඳිනවාද ? එහෙම බලද්දී අපිට තියෙන කරදර මොනවද කියලා හිතෙනවා

නමුත් මා වටේ හිටපු හැමෝම කිව්වේ නොදන්නා මිනිසුන් හා කථා කරනන් යන්න එපා කියලයිඒත් මම මොනවා කරන්නද ඔවුන් කථාවට එනවානම්.


"සොයන හැමදේම හම්බ වේනම් අවශ්‍ය හැම දේම ලැබේනම් මිනිස්සුන්ගේ හිතට මේතරම් බලාපොරොත්තු ගොඩක් ඉතිරි නොවනු ඇත"