Tuesday, November 24, 2015

හඬක් නැත්තන් වෙනුවෙන් ! Stand for Kesara



"මම හිතුවා මගේ ජීවිතය ගැන , මගේ වැඩ කටයුතු කොහොම වෙයිද ? සියයට අසූවක්ම ඕටිසම්  තත්වය ඇති මගේ දරුවා කොහොම හදන්නද ? අවුරුදු විස්සකට කලින්, මට කිසිත් නොවැටහුනු කලක, කියා දෙන්නට මග පෙන්වන්නට කිසිවෙකුත් සිටි නැති කාලෙක. ඔව් එය බොහොම දුෂ්කර දෙයක් !

නමුත් මට දැනුනාමොන දේ වුනත්, මා ඔහුගේ වීරයා විය යුතු බව, මා ඔහු වෙනුවෙන් නැගී සිටිය යුතු බව, මම දැන ඉගෙන ගත්තා ඕටිසම් යනු කුමක්ද කියාමම පොත් පත් කියෙව්වා, දේශන වලට සවන් දුන්නා, හරියට විභාගයකට පාඩම් කරනවා වගේ, ඒක පහසු ගමනක් නම් නොවේ, මම අඬපු නැති දවසක් නැති තරම්.

"ඔහු බැඳ දමන්න , ඔහු සතෙක් වගේ" කියන ඒ නරුම වචන ටික ! ඒත් මට කවදාවත් බයංකර වචන පෙල අහන්න ඕනෙ වෙන්නෙ  නෑ කියන දේ මගේ හිතේ තිබුනා. මගේ හිතේ දෙවියන් සහ විශ්මයන් ගැන ලොකු විශ්වාසයක් තිබුනා.  ඔව් ඒක තවමත් එසේමයි. මගෙ සැමියා මට විශාල සහයෝගයක් දුන්නා. ගෙදරින් ඈත වෙනත් රටක, තනිය සමග මම හැමදාම මේ ප්‍රශ්න වලට පිළිතුරු සෙව්වා. 


මගේ සුන්දර දරුවා දකින ලෝකය මම දැකිය යුතු බව මට වැටහුනා. මගෙ පුතා නොනවත්වා ඇඬුවා, ඔහුට කතා කරන්න හෝ ඇවිදින්න බැරි නිසා මට හැමවිටම ඔහුව වඩාගෙන යන්න සිදුවුනා. ඒත් ඒ හැම විටම මොහොතක් නවතින්න සිදුවුනා, මගෙ වෙහෙස මැඩගන්න හුස්මක් ගන්න. 

ඔහු පාසැල් ගියේ ටික කාලෙකට, ඒ හැම පාසැලකටම ඔහු එපා උන නිසා නොවේ. ඒ පාසැල් වලින් ඔහුට ගන්න පුළුවන් දේ කොපමණද කියා මා දැනන් උන්නා. එක පාසැලකින් ඔහු ඇඳුම් අදින හැටි ඉගෙන ගත්තා, තවත් පාසැලකින් තවත් ජීවන හැකියාවක්. එක පාසැලක ගුරුවරියකට සතිය පුරාම එකම සාරිය අඳින්න උනා, ඒ ඔහු රෝස පැහැයට කැමති නිසා. ඔහු ඉතා හුරුබුහුටි දරුවෙක් වුන නිසා ඔහුට හැමෝම ගොඩක් ආදරේ කලා, ඔහුගේ අක්කලා ඔහුට විශාල ශක්තියක් වුනා.


ඔව් ඔහු විශේෂ අවශ්‍යතා ඇති ඕටිසම් ආබාධ තත්වය ඇති දරුවෙක්.. ඔහු ලෝකය දකින්නේ වෙනස්ම විදිහකට, නමුත් මම ඔහුට ලෝකය දකින්න අවශ්‍ය මෙවලම් සැපයුවා. මම බොහොම වාසනාවන්ත වුනා, ඒ ඔහුට සොඳුරු මිනිසුන් බොහෝමයක් ආදරය කරුණාව දැක්වූ නිසා. ඔවුන් මා විශ්වාස කරා, මට ශක්තියක් වුනා. ඒ මා කේසරගේ අම්මා නිසා.
ඒ දවස් වල , සමාජයේ ඕටිසම් ගැන විශාල අවබෝදයක් තිබුනේ නෑ. අද මම ඕටිසම් ඇති දරුවන් බොහෝ ගණනක් දකිනවා... මගේ එකම පැතුම ඒ දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දේ උපරිමය කරන්නට ඒ දරුවන්ගේ දෙමාපියන්ට හැකි වේවා යන්නයි. මට ලැබුනු සහයෝගය ඔවුන්ටත් ලැබේවා යන්නයි. 
මට ඒ දේ කරන්නට හැකි වුනේ මා ඔහු වෙනුවෙන් ශක්තිමත්ව නැගී සිටිය නිසායි.  මට ලැබුනු මහඟු ත්‍යාගය මට මහ මෙරක් තරම් වටින මේ ත්‍යාගය මගේ දරුවා ගැන... මා ඔහු වෙනුවෙන් කළ දේ ගැන මා බෙහෙවින් සතුටු වෙනවා... ඔහු අද තනිව නැගී සිටියත්, මා ඔහු ළඟ සිටීම අත්‍යාවශ්‍ය නොවුනත් ඔහුට මා නිරතුරුව ශක්තියක්  වෙනවා."

ඒ මා මුහුණු පොත ඔස්සේ දුටු අම්මා කෙනෙකුගේ සිතුවිලි. ඇය ගේ දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ! එසේ අදහස් ගොනු කරන ඈ, ඇගේ දරුවා සමාජයට වැඩදායක පුද්ගලයෙක් කරන්න වෙහෙසෙනවා. අවසානයේ ඔහු හැමෝගෙම සිත් ගන්නා කඩවසම් තරුණ සූපවේදියෙක් ලෙස රැකියාව ආරම්භ කරනවා. ඒ අගනුවර ප්‍රසිද්ධ ආපන ශාලා ව්‍යාපාරයකට හිමි ආපන ශාලාවක. 

මා දුටුවේ ලෝකයේ සතුටෙන්ම සිටින දරුවා. ඒ අම්මෙක්ගේ කැපවීම, සහෝදරියන්ගේ දරා ගැනීම... කේසර ! 
ඇත්තටම ඔහු මගේ ලෝකයේ වීරයෙක් වුනා. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ මව මා දුටු ධෛර්‍යවන්තම ස්ත්‍රීය කීවොතින් නිවැරදියි.

 
ඕටිසම් යනු දරුවෙකුගේ වර්ධනයේදී බාධා ඇති කරවන තත්වයක්. එය දරුවෙකුගේ මානසික වර්ධනය, සන්නිවේදනයට, හැසිරීම් රටාවට බාධා ඇති කරවයි.  එයට හේතුවන කාරණා පැහැදිලිව නිගමනය කළ නොහැකි වුනත්, එය මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිකාර හා පුහුණුව තුලින් එයින් ඇතිවන සංකූලතා අවම කරගත හැකියි.

උපතීන්ම කෙනෙක් බුද්ධි හීනතාවයට හෝ මන්ද මානසික තත්වයකට පත් වුනොතින්... ඒ පුද්ගලයා කායිකව කොයි තරම් සෞඛ්‍ය සම්පන්නව සිටියත්, ඔහුට මේ සමාජයෙන් විඳින්න සිදුවෙන ගැහැට අති මහත් ය.එවැනි දරුවන්, අත හැර දමන, ළමා නිවාස වලට ගාල් කරන සමාජයක කේසරගේ මව, ඔහු සමාජයට වැඩදායක මනුෂ්‍යයෙක් කරන්නට වෙහෙසුනා.ටිකෙන් ටික උස් මහත් වෙන කේසර, රටට බරක් නොවී තනිවම රැකියාවක් කර උපයන්නට තරම් සමතෙක් වෙනවා. ඔහු සූපවේදියෙක් ලෙස ප්‍රසිද්ධ ආයතනයක සේවය කරනවා. මේ කතාව කෙතරම් සොඳුරුද ?

කේසර වැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් වෙනුවෙන් දෙමාපියන් කළ යුතු කැපවීම විශාලයි. මේ කතාව කියවන අපිත් බොහෝ සෙයින් සැනසුනා, , අම්මෙක්ගේ තාත්තෙක්ගේ ධෛර්‍යය සම්පන්න බව හමුවේ සමාජයෙන් කොන්වෙන්නට ගිය ජීවිතයක්, සමාජයට බරක් වෙන්නට තිබුනු ජිවිතයක ජයග්‍රාහී කතාව කියවු හෙයිනි. 


නමුත් ලෝකය හැමවිටම එවැන්නන්ට කාරුණික හෝ සොඳුරු වෙන්නේ නැත. අද කේසර බොහෝ පසුගාමීව, කිසිවක් කරකියාගත නොහැකිව සිටී. ඔහු ලෝකයට බිය වී, තම මව හෝ සොයුරියන්ගේ පිහිට ආරක්ෂාව පතමින් සිටී. ටික කලකට කලින්ගොඩ නැගූ මේ තරුණ ජීවිතය , කුරිරු අමනුස්සයින් නිසා විනාශ වී ගොසිනි. ඒ ඔහු වැඩකරන ආපන ශාලාව තුලදීම, එහි තවත් සේවකයින් හතර දෙනෙක් විසින් ඔහුව දූෂණය කරනවා. මෙවැනි පහත් අධම තිරිසනුන්ගෙන් අහිංසක දරුවෙක්ට, ආබාධ සහිත, සුවිශේෂී දරුවෙක්ටවත් ගැලවිල්ලක් නැති වී තිබේ.

හය හතර නොතේරෙනෙ කුඩා දරුවාගේ පටන් මැහැල්ල දක්වාම විනාශ කරන්නට තැත දරන තිරිසනුන් පිරි ලොවක මන්ද මානසික හෝ බුද්ධි හීන මනුෂ්‍යයින්ට හිරිහැරයක් කරදරයක් නොමැතිව ජීවත් වීමට නොහැකි වී ඇත. ‍

පියා අහිමි ඔහුට, ඉන්න එකම ශක්තිය තම මව සහ සොයුරියන් ! ඔවුන් විසින් කේසර වෙනුවෙන් පිටුවක් ආරම්භ කර තිබෙනවා. 
Stand for Kesara 
ඒ මේ අයුක්තියට අසාධාරණයට, විරුද්ධවන්නට, සමාජය දැනුවත් කිරීමට. මේ සිදුවීම තවත් දරුවෙක් ට නොවීමට. මෙවැනි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙමාපිය වෙර වීර් යයෙන් උස් මහත් කර සමාජයට වැඩ දායක පුරවැසියන් කර පසු සමාජය විසින් ඔවුන්ට ලබා දෙන්නේ කුමක්ද ? නැවත නැගී සිටිය නොහැකි තරමට තලා පෙලා විනාශ කර දැමීම ද ?

 නඩු අසන උසාවිය ඉදිරිපිට පවා ඔවුන් නිහඬ උද්ගෝෂනයක නිරත වෙනවා, ඒ කේසර වෙනුවෙන් යුක්තිය ලැබෙනු උදෙසාය. කේසරගේ ජීවිතය විනාශ කල තිරිසනුන් හට දඬුවම් ලැබීම උදෙසා ය. 

පසුගිය දිනෙක මට ඔහුගේ මව ලියූ වැකියක් ඇස ගැටෙනවා... 


What is Justice ..
We came to the court ..
It was 9 am
The place was buzzing ..
With every one talking ..
I just sat there ..
Expecting ..
What ....
The case to be called ..
So I can know how to move on !
My lawyer came ..
A young man who is with so much compassion ..
I had Hope !
He smiled and said ..
It will be soon ..
We waited and waited ..
My head was aching ..
Listing to all ...
I just could not comprehend
One case was for a fine for just 100 rupees!
They asked him to pay the fine ..
And he was free ..
Here I was sitting cramped up ..
Beside people who were just like Me !
I could not take it any more I just walked out to breath !
Our lawyer came up to me and said ..
Aunty I am sorry ...
The case file is misplaced ..
I could not believe the words ..
And asked how ?
For me is this justice ?
I want to be heard for my sons sake
Cos he is voiceless in many ways !
He see the world differently ..
For him Its Black or White !
My hear broke in that moment ..
Is this justice ...,
Making my son feel that he is unimportant ..just a case file !
I just felt I am worthless .. My son has no voice ..
I felt devastated I just left !
Leaving my daughters ..
Who wanted to see what will happen !
Thank you Sampath for the Lawyer you are ..
You gave up all that time and said
Aunty you go home and rest ..
I will be here and will let you know !
It should not have happened
But it did ..
They system should have worked
Cos the case was to be heard !
Now I have to wait till next year ....
I pray that I will be .....
To see Justice is done for the voiceless !

# from the page Stand for Kesara 

කේසර ගේ ෆයිල් එක නැතිවෙලා නිසා නඩුව අවුරුද්දක් කල් යන බව... දැන් ඔවුන් අවුරුද්දක් බලා සිටිය යුතුය... 

මේ රට අපට හිතකර වෙන්නේ කවදා ද
මේ රටේ අහිංසක දරු දැරිවියන් විනාශයට පත් නොකරන සුදම් සමාජයක් බිහිවෙන්නේ කවදා ද ?  
විශේෂ අවශ්‍යතා ඇති.. ආබාධිත දරුවන්ටවත් සැනසීමෙන් ජීවත් විය හැක්කේ කවදා ද ?
මා මේ ප්‍රශ්න ටික ඔබ හමුවේ තබන්නේ හිතේ ඇතිවූ කලකිරීම් ගොන්නක් සමගිනි !
එන්න අපි ඔවුන් වෙනුවෙන් හඬ නගමු !


10 comments:

  1. බෝධිනී මට දැනගන්නට ඕනෑ මෙවන් දේ සිදුවෙන්නේ විකෘති මානසික තත්වයන් ඇති අයවලුන් අතින්ද ? මානසික රෝගී තත්වයන්ට වුව හේතුවන්නේ ශාරීරිකව පවතින යම් විකෘති භාවයන් නොවේද ? කේසර වැන්නවුන් තව කෙතරම් අප අවට ඇද්ද මෙවන් අපචාරයන්ට ලක්වන. මෙවන් අපාරාධකාරයින් මානසික රෝගීන් ලෙස සළකා පුනුරුත්තාපනය කළ නොහැකිද ? නා නා විධ හඬ නැගුම් උදෙසා බිහිවන එන් ජී ඕ අප අවට කොපමණද - බල්ලන්ට පූසන්ට පවා වන අකටයුතුකම් ගැන කතා කරන්නට එන් ජී ඕ තිබුණත් - මෙවන් දේ වළකන්නට ක්‍රියාකාරී වන සංවිධාන නොමැතිද ?

    අපේ දරුවන් ද හැදී වැඩෙන්නේ මේ වටාපිටාවේය. නූගත්කම නොදැනුවත්කම මෙවැනි දේට මහත් රුකුල් සදයි.

    මෙතරම් දුක් විඳ රැක බලාගත් හදා වඩාගත් මව මෙය කෙසේ දරා ගන්නද - හදවත හිරකරන තිගැස්මකින් - නෙත් බොඳ කරන මහා බරකින් සිත පෙළයි.

    බෝධිනී ඔබට පින් මේ ගැන අප දැනුවත් කළාට. අපට මේ ගැන කළ හැකි යමක් වේද?

    ReplyDelete
  2. ඔටිසම් සහලක්ෂණය දැන් දැන් වඩාත් සුලබ වෙමින් අැති බවක් තමයි දැනගන්න තියෙන්නෙ. හඳුනාගන්නා ප්‍රමාණය වැඩිවීම නිසා ද, වෙනත් හේතු නිසාද කියන්න දන්නෙ නැහැ. නමුත් ඉක්මනින් හඳුනාගෙන ඔවුනට අවශ්‍ය සහය ලබා දුන්නොත් ඔවුන්ට ජීවිතය සාර්ථකව ගොඩනගාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙවැනි අාබාධ වලින් පෙළෙන අය සියලු අාකාරයේ අතවරයන්ට ලක් වෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා සමාජය ඒ් පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත්. ඔවුන්ට අවශ්‍ය අනුකම්පාව නෙවෙයි, ඔවුන්ටත් සාමාන්‍ය යැයි කියන මිනිසුන්ට හිමි අවස්ථා ලබාගැනීමට ඉඩ කඩ ලබා දීමයි. මේ පිළිබඳ කතාබහක් අැති කිරීම පිළිබඳ ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.

    ReplyDelete
  3. අපි අතරෙත් ඉන්නව බං ආදරනිය තාත්තෙක් . සහ අපරිමිත ආදරයක් ලබන පුතෙක්

    ReplyDelete
  4. "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත"
    මේ කියන වන සිව්පාවුන් වැනි මිනිසුන් වැඩි වෙලා දෙවි දේවතාවුන් වැනි මිනිසුන් හිඟ වීගෙන යන කාලයක් නේද අක්කා.
    මේ වගේ දේකට හැමෝම එකතු වෙන්න ඕනෙ. හැමදාමත් වගේ අක්කට ගොඩක් පිං මේ ගැන කිව්වට.

    ReplyDelete
  5. This is ridiculous!!!! ශ්‍රී ලංකාවේ නීති පද්දතිය සංශෝධනය විය යුතුයි වගේම නියාමනය විය යුතුයි.. පාර්ලිමේන්තුවට ඒ සඳහා නිසි බලතල ලැබිය යුතුයි. නිතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වීමද විය යුතුයි.. මෙය නීති පද්දතියට පමණක් නොව තව බොහෝ ක්ෂේත්‍ර වලටත් අදාලයි.. මේවා තව දුරටත් මතවාද ලෙස පමණක් ඉතුරු වීමද නොවිය යුතුයි.. කේසර ගැන කණගාටුයි.. ඒ මව ගැන ලොකු ගෞරවයක් ඇති උනා.. දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
  6. මහා හිත් වේදනාවක් ඇති වුනා. කේසරලා වෙනුවෙන් හඬක් නගන ඔහුගේ මවට අපේ ප්‍රණාමය . ස්තුතියි බෝධිනී මේ හෙළිදරව්වට

    ReplyDelete
  7. හරිම සංවේදී හැඟීමක් ඇති වුණා.
    හය හතර නොතේරෙනෙ කුඩා දරුවාගේ පටන් මැහැල්ල දක්වාම විනාශ කරන්නට තැත දරන තිරිසනුන් පිරි ලොවක නොවෙයි රටක අපි ජීවත් වෙන්නේ. වසර දෙදහස් පන්සීයක ප්‍රෞඩ ඉතිහාසය.
    බම්බුව...!

    ReplyDelete
  8. මේක මුලින්ම කියවපු වෙලාවේ ලොකු කණගාටුවක් ඇතිවුණා, සිද්ධිය ගැන පමණක් නෙවෙයි ඉන් පස්සේ සිදුවීම් ගැනත්. කේසරගේ සොයුරිය ඔහුගේ නියම අනන්‍යතාවය සහ අදාල ආයතනයේ නම, පුද්ගලනාම හෙළිකිරීමට පියවර ගන්නේ උසාවියේ වැඩකටයුතු ඉතාම සෙමෙන් සිදුවන වටපිටාවක. ඒ තීරණය නිවැරදි නැහැ කියලා මට හිතෙන්නේ. ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ තරුණිය ගැන හඬක් නැගුණේ ඇයගේ නියම නමින් නොවේ. මේ වගේ අපචාරයක වින්දිතයක් පමණක් නොවෙයි චූදිතයන්ගේ පවා නම් හෙළිකරන්නේ නැහැ, එමගින් සිදුවන හානිය අතිමහත් නිසා. මට හිතෙන්නේ සොයුරියගේ ඒ තීරණය කේසරට අවාසිදායක ලෙස බලපාවි කියලයි. මෙවැනි අපරාධ සම්බන්ධ නීතිරීති පමණක් නොවෙයි, ඔවුන් සම්බන්ධව හැසිරිය යුතු ආකාරය ගැනත් සමාජය දැනුවත් නැහැ.

    ReplyDelete
  9. Danata balaye sitina paksha deka pawathina thuru neethiyata siduwanne awaneethiyakmaya. Cancer, Autism, Deppression enna enna wadi wenawa. E hoyaa ganna technology eka wadi welaa nemeyi. Upsrt ekak apata thiyenakota api dannawa boho wita.

    ReplyDelete
  10. මේ ෆයිල් එක අතුරු දහන් වුනේ කොහොමද කියල හොයල බලන්ඩ වටිනවා...ඇහැට කඳුලක් නැගුනත්..ඇගේ ලේ කැකෑරෙනවා මේ වගේ තකා අහනකොට.අම්මට සිරි ලංකාව....
    මේ වගේ උන්ට දඩුවම් කල යුතුමයි.
    අසරණ අම්ම ජීවිතයම කැපකැල ගොඩ නගපු මේ දරුවා එක පැයකින් මුන් විනාශ කලා

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !