Wednesday, August 20, 2014

පොඩ්ඩන් වෙනුවෙන් ලියැවුනු රන්දිගේ "සොඳුරු බාලේ ගෙවුනු තාලේ"


"දුවලා ලෙඩ වැඩි උනොත් පුතේ ගෙදර යන්න බැරි වෙයි..." වාට්ටුව පුරා දුවන, පොඩි චන්ඩි පැංචෙක්ට මගේ සුපුරුදු දේශනය දුන්නා.
" කමක්  නෑ මං මෙහෙ ඉන්නවා" පැංචා දුන්නු උත්තරෙන් මම පුදුමයට පත් වුනා.
මෙහි එන ඔක්කොම කැමති ගෙදර යන්න ඒත් සමහර පැංචො , පැංචියො කැමතියි ඉස්පිරිතාලේ ඉන්න. අන්න ඒ අයගේ කතන්දරයයි අද මම කියන්නේ.
" ආයෙ දිව්වොත් එහෙ මෙහෙ යවන්නේ නෑ ගෙදර... " මම සුපුරුදු භය කිරීමේ අවිය පාවිච්චි කරා අපේ වාට්ටුවේ හිටපු දඟම දඟ පැංචෙක්ට.
" ආ කමක් නෑ මං මෙහෙ ඉන්න ආ....සයි" මේ නම් මහා ඇට්ටර පැංචෙක්.
ඒත් මේ ඔවුන්ගේ ඉස්පිරිතාලේ ඉඳීමේ කැමැත්ත පිටුපස මහා ඛේදවාචක ගොඩක් හමුවෙනවා. ඔවුන්ගේ ගේදොර සමාජ වටපිටාව විපරම් කල විටයි වැටහෙන්නේ මේ දරුවාට නිදා ගන්න ඇඳක් ලැබුනේ ඉස්පිරිතාලෙදී බව, කුඩා ලෑලි ගෙවල් වල පැදුරු කඩමාලු වල , ඇතැම් විට වැඩිහිටි ආරක්ෂාවක් නැතිව මේ දරුවෝ නිදන්නේ. සමහර ගෙවල් වලට වැස්සට වතුර දැම්ම විට, කන්න බොන්න අඟහිඟ වුන විට, සමහර දෙන්නා දෙමහල්ලෝ රණ්ඩු සරුවල් වුන විට, දරුවන් උස්සාගෙන ඉස්පිරිතාලේ නවතින්න එන අම්මලාත් අඩු නෑ. ඔවුන්ට මේ පරිසර තුලදී ඇසෙන වාග් මාලාව නුසුදුසුය, දකින ආදර්ශයට ගන්නා දේ නුසුදුසුය.

 "එහෙනම් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඔන්න දැඟළුවොත් එහෙම ආයෙත්" මගේ භය කරන ටැක්ටික් පාවිච්චි කරා.
" අපෝ දෙන්න දෙන්න මං භය වෙයි ඕවට" ඔහු අත පෙන්වයි.

විශ්වාස කරන්න.. මේ පොඩි එකාගේ වයස අවුරුදු 4යි. ආයෙම සැරයක් දුටුවේ අම්මා කියන දෙයක් කනකට නොගෙන වාට්ටුව පුරා දුවන ආකාරයයි.

"එක විදියකට ඉන්නේ නෑ දුවනවා වාට්ටුව පුරාම ඉතින් කොහොමද අසනීප හොඳ වෙන්නේ" දඟකාර පැංචා දිහා බලාගෙන මම ඔහුගේ මවට කීවා.
"අහන්නේම නෑ කියන දේ ඩොට්ට"  ඇදුම වැඩි වී පැමිණි මේ පිරිස සිටින්නේ කොයි පුරයකද යන්න කතා බහෙන්ම වැටහේ.
"බත් කෑවද පුතේ" මම ඔවුන් පරීක්ෂා කරන ගමන් යාළුකම් පාන්නට එසේ අසමි එතකොට මදක් හෝ මොවුන් සන්සුන් වේ.
"අනේ මේ වැඩක් බලාගෙන යන්න" මේ පැංචා කියයි. " මේ දන්නවද මම හරි වසයි" ඇඟිල්ල උරුක් කරමින් පොඩි දුවෙක් දවසක් අප සැමට ගෝරනාඩු කල විට ඇගේ අම්මා කීවේ,  "අනේ ඩොක්ටර් ගෙදරත් ඔහොමයි" කියාය.

ඒ ඔවුන් හැදෙන වැඩෙන පරිසරයේ ආභාෂය වෙන්නට පුළුවනි. දරුවන් හැදෙන්නේ වැඩිහිටියන් දිහා බලාගෙනයි. ඔවුන්ගේ කුඩා මනසවල් හරියට අඹන්නට පෙර තියෙන මැටි ගුලියක් වගේ. නමුත් ඔවුන් ජීවත් වෙන සමාජය විසින් ඔවුන්ව කුඩා වැඩිහිටියන් බවට පත්වෙලා. ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ, කනට ඇහෙන්නේ ඒ වයසේ දරුවෙක් නොදැකිය යුතු, නෑසිය යුතු දේ. අපි කොහොමද මේ අයගේ පරිසරය වෙනස් කරන්නේ. අප වාට්ටුවේ තිබෙන රූපවාහිනී යන්ත්‍රය ඉදිරි පිට පොඩි දරුවෝ පෙළ ගැහෙනකොට නම් මම ඉතා කල්පනාකාරීයි, සමහර විට ළමා වැඩසටහන් අතරතුර පෙන්වන වෙනත් වැඩසටහන් ගැන සඳහන් කිරීම් ඇත්තටම දරුවන්ට සුදුසු නැතිවා වගේම අද තිබෙන දැන්වීම් ප්‍රචාරන ක්‍රමද බොහොම බාල වර්ගයේ ඒවාය. සිංදු කියා බලන්නට අසන්නට දෙයක් ඇත්තේම නැත. අවාසනාවකට මේ දරුවන්ගේ නිවෙස් පරිසර වල වැඩිහිටි රූපවාහිනී වැඩසටහන් බලන්නට නිරන්තරයෙන්ම මේ කුඩා වුන් පුරුදු වි ඇති ගතියක් දකින්න ලැබෙනවා. රාත්‍රී 8 න් පසු රූපවාහිනිය ළඟ පොදි ගැහෙන්නට අප සමග රණ්ඩු සරුවල් කරන දරුවෝද එමටය. වාට්ටුවේ කුඩා උන් සඳහා පුස්ථකාලයක් පැවතියද අපි හරි හෙද සොයුරියන් හරි බලෙන් මතක් කළොත් මිසක් අර අම්මලාටවත් දරුවන්ට නිසි යමක් කියා දීමට උවමනාවක් නැති බවකුයි වැටහෙන්නේ.

ළමයින් වෙනුවෙන් ඇති දෑ කප්පාදු වෙන නොසලකා හැරෙන ලොවක අපට ඉතා වටිනා ආරංචියක් ලැබෙනවා. ඒ , බ්ලොග් අවකාශයේ නිදහස් සිතුවිලි තුලින් බොහෝ කල් සිට බ්ලොග් තුලින් අප හමුවූ රන්දිකා සොයුරිය ළමා ලෝකයට තිලිණ කරන අපූරු පොත් පිංචක් ගැන ආරංචියයි.  පුංචි දරුවන්ගේ ලෝකය විනාශ කරන්නටම වෙර දරන මිනිසුන් මැද, සෑම මාධ්‍යයකින්ම සිදුවෙන්නේ කුඩා මොළ විනාශ කරවන ඔවුන් හට නොගැලපෙන විවිධ දේ තුලින් ඔවුන්ගේ මනස විකල් කිරීමය. 

එවැනි සමාජයක රන්දිකා රණවීර, පොඩි දරුවන්ට තිලිණ කරන මේ පොත තුලින් ළමා මනසට ගැලපෙන ආකාරයේ ආමන්ත්‍රනයක යෙදේ. 
"පුතේ මම පොඩි කාලේ මට වුන දේ මෙසේයි" කියමින් ඇලෙසැන්ඩර් රස්කින් ලියන ලද මේ කතා මාලාව අපේ රටේ දුවා දරුවන්ට ගැලපෙන ලෙස අනුවර්ථනය කර ඇති අයුරු අපූර්වය. ඒ තුලින් ඔවුන්ට සමාජය පිළිබඳව කදිම අවවාද සහිත පණිවිඩයක්ද ඇතුල් කරයි. මට ඇගේ බ්ලොග් පිටුව තුලින් පොතේ පරිඡේද කිහිපයක් කියවන්නට ලැබිනි.දරුවන්ට ලියවුනු පොත් අඩු මේ කාලයේ අපේ දැයේ දුවා දරුවන්ට කියවන්නට දිය යුතුම පොතක් අප අතට පත් කිරීම ගැන රන්දිකා මා මිතුරියට මම බෙහෙවින් ස්තූති වන්ත වෙමි. මේ 23 වැනි සෙනසුරාදා සවස 3 සිට 6 දක්වා කොළඹ 7 පුස්තකාල සහ ප්‍රලේඛන ශ්‍රවණාගාර ශාලාවේදී පැවැත්වෙන මේ පොත දොරට වැඩීමේ උත්සවයට සියල්ලන්ටම ආරාධනා කරමින් රන්දි මුහුණු පොතේ මෙසේ සඳහන් කර තිබුනා. 

මෙන්න මුහුණු පොතේ යොමුව, ඔබේ පැමිණීම සටහන් කරන්න. 


12 comments:

  1. බ්ලොග් ලෝකේ අයගේ පොත් මේ විදියට එලි දකින එක ලොකු සතුටක්!!! බලන්ට එන්ට තිබුණා නම් අගෙයි. :)

    ReplyDelete
  2. තාත්තා කෙනෙක් කියන මුල් කතාවේ මේ සිංහල පරිවර්තනයට අම්මා කෙනෙකුගේ සෙනෙහෙසත් එකතු වී ඇතැයි සිතමි.

    ReplyDelete
  3. සහෝදර වියුණු සටහන් ලේඛිකාවක් වෙනුවෙන්...
    අනෙකුත් සියලුම කටයුතු මැද..
    ඔබනම් අපූරුම කෙනෙකි!

    ReplyDelete
  4. මමත් ආසම කතාවක්. අපේ තාත්තත් ඒ තාත්තා වගේමයි, පුංචි කාලෙ වෙච්ච කතන්දර කියල දෙනව අසනීප වුනාම, කෑම කවනකොට හෙම.
    බ්ලොග්කරණයේ යෙදෙන සොයුරියක් නිසා මේ වැඩේ ගැන තවත් ආඩම්බරයි.
    ළමා පොත් කිවුවම අපේ අය හිතන්නෙ පොල්ගෙඩි අකුරු සහ පිටුව පුරා ච්ත්‍ර ඇඳපු පොත් කියලනෙ.

    ReplyDelete
  5. දරුවන්ගේ ළමා ලෝකයට අත තියන්න එපා කියල කොතරම් මොර දුන්නත්, උනුත් ඉන්නේ අපි ඉන්න ලෝකෙමයි. කොහෙද ලෝක දෙකක්? මමත් සමහර වෙලාවට කොර වෙලා තියෙනවා පුංචි ළමයින්ගේ සමහර හැසිරීම්, උත්තර වලට. මොකද ඒවගේ කිසිම ළමා ගතියක් නැති හින්ද.

    මට පේන විදියට මමත් ඇතුළුව වැඩිහිටියන් වගකියන්න ඕනේ ඒවාට, මොකද අපි හිතන් ඉන්නවා ළමයින් වෙනස් ලෝකෙක හදන්න ඕනේ, ඒ අපි එදිනෙදා දකින ලෝකේ නෙවෙයි කියල... ඒ කියන්නේ අපි වෙන් කරන්න හදනවා ළමයින් බලන දේවල් සහ ඇත්ත ලෝකේ දේවල්. ඇත්තටම ඒක ලේසිත් නැහැ, පුළුවන් වැඩකුත් නෙවෙයි. අපිට තියෙන දේවල් උනත්, සාමාන්‍ය භාවිතාවට සුදුසු නැත්තම්, වැඩිහිටියා- ළමයා කියල නෙවෙයි ඒක සුදුසු නැහැ. අපේ ළමා වැඩසටහන් අතරේ පෙන්නන ඇඩ් පොඩ්ඩක්වත් ළමයින්ට අදාළ නැහැ.... එක්කෝ ළමයි දැනගන්න ඕනේ නැති භාණ්ඩයක් ගැන යන ඇඩ් එකක්. ( උදා. උපත් පාලන පෙති ගැන ඇඩ් එකක්). අනිත් දේ තමයි සමහර වැඩිහිටි කතා කියන පොඩි උන්ගැන එයාලගේ දෙමව්පියෝ හරි ලොකුවට කතා කරනවා, කියන ඒවාට හය්යෙන් හිනා වෙලා ප්‍රතිචාර දක්වනවා. එතකොට පොඩි එකා හිතන්නේ තමුන් හරි වීර වැඩක් කළා, ඒක නිතර කරන්න ඕනේ, එතකොට තමයි අම්මලා සතුටු වෙන්නේ කියල.

    පොත ගැන නම්: ඔව් මමත් ගන්නවා... ස්තුත්යි ඔත්තුවට

    ReplyDelete
  6. එන්නට හැකි වේවි.. සුබ පැතුම්....

    ReplyDelete
  7. 'නිදහස් සිතුවිලි' වලත් මේ ගැන දැක්කා. හරිම අපූරු වැඩක්.

    ළඟදි අනිත් කොණේ අත්දැකීම් ලීවෙ නැත්තෙ ඇයි.

    ReplyDelete
  8. රන්දිල්ට සුභ පතන ගමන් අනිත් කොනේ සොයුරියටත් සුභ පැතුම්.. ඔබෙගේ පොත ගැන දැනගත්තේ සොඳුරු සුව අසපුවෙන්..
    ඒ ගැනත් ලිපියක් ලියැවේවි කියලා හිතනවා..

    ReplyDelete
  9. එන්න වෙන්නේ නෑ මෙදින කොළඹින් බැහැර සිටින නිසා. ඒත් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  10. රන්දිකාගේ ව්‍යායාමයට සුබ පැතුම්....!
    දරුවන්ට ලියැවුණු පොත් අඩු මේ කාලයේ දරුවන්ට කියවන්නට හොඳ පොත් ලබා දීම දැනුමැත්තන්ගේ යුතුකමක් නොවැ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !