Wednesday, March 26, 2014

නිවන් යන්නට සිතා පණුවන් කාපු කතා....

මේකත් අනිත්කොණ මානසික වෛද්‍ය ඒකකයේදී මට මුණ ගැසුනු චරිතයක් ගැන කතාවක්... ඔහු අප වෙත ගෙන ආවේ ගමේ පිරිසක්. නමුත් වෙන රෝගීන්ගේ මෙන් කලබලකාරී හෝ ප්‍රචන්ඩ ගතියක් මොහුගෙන් පෙනුනේ නෑ. බොහොම ශාන්ත ලෙස එළියේ බංකුවේ ඉඳගෙන සිටියා. ඔව් බොහොම ශාන්ත මනුස්සයෙක්. ඔහු මෙහි ගෙන ආවේ හරිම අත්භූත සහගත ක්‍රියාකාරකම් කරනවාය කියලා. පාර අද්දර ගස් අතර හැංගිලා ඉඳන් පැමිණෙන වාහන ඉදිරියට පැනීම, කුණු කසල කෑම එවැනි ක්‍රියා කීපයක්. හැබැයි ඔහු නේවාසිකව වෙදකම් ලද ඒ කාලයේ නම් අපේ ඒකකය ඔහු නිසා ඉතා පිරිසිඳුව තිබුනා. ඒක අපූරු කතාවක් !


උදෑසන සායන වටයට ලක ලැහැස්තියෙන් රෝගීන් සියල්ලන්ම සිටියේ එළියේ බංකු පෙළ මතයි.
" ඊයා , චිකේ... යන වචන පෙළත් ඉන්පසු " දාන්න කිව්වේ කටට දා ගත්තු කුණු එළියට " කියා අපේ වාට්ටුව බාරව සේවය කළ පිරිසිඳු කරන්නිය කෑ ගහන අන්දම මට ඇසිනි.

බලද්දී ඇය අතුගාන පස්සෙන් දිව යමින් ඇය එකතු කරන කුණු කසල සියල්ලද දූවිලිද එකතු කර කටේ දමාගනිමින් සිටියේ මා ඉහත සඳහන් කළ රෝගියාය. ඔහුට අපි පාල යැයි කියමු. බොහෝ වෙර වීරියෙන් කුණු ගොඩෙන් මෑත් කළ පාල අප වෙත ගෙන ආවේ තවත් සාත්තු සේවකයින් දෙන්නෙක්.

"පාල මොකද මේ කුණු කන්නේ"

අපේ ප්‍රශ්ණ හමුවේ ඇස් බිම දෙසට යොමාගෙන සිටි පාල ඔබ මොබ බලමින් සෙව්වේ කන්න යමක් බව අපිට වැටහුනේ නෑ.. ටික වෙලාවක් සන්සුන්ව සිටි ඔහු වහා ඉදිරියට පැන කොරිඩෝ බිමේ ගමන් කරමින් සිටි පස් වල සිටින හකරැල්ලෙක් කටේ දමා එසැනින් හපා ගිල්ලේය. අපිට දැනුනේ පුදුම අප්පිරියාවකි.

 " මොකෝ පාල මේ වගේ අප්‍රිය ජනක වැඩ කරන්නේ"

"ඒ කීවේ ? කිසිවක් සිදු නොවූ අයුරින් පාල අසයි.

" මේ කුණු කන්නේ මොකද?"

" නෝනා ඕකට හොඳ හේතුවක් තියෙනවා ඒක නෝනට කියන්න තරම් මට නෝනව විශ්වාස නෑ"

මේ හාදයා මේවාට හේතු සම්පාදනය කරනකම් අර කාපු කුණු නිසා ආසාදන ඇතිවිය හැකි හෙයින්, අවශ්‍ය බෙහෙත් වර්ග ලියා තබා ඔහු ගැන කල්පනාවෙන් සිටින ලෙස අනික් අයටත් පැවසුවෙමි. දින දෙක තුනක් යද්දී පාල නිතරම අපි සමග කතා බස් කළ හෙයින් යහළු විය. හැකි තරම් වලකා , අර කුණු කෑම නම් නවත්වා ගත්තෙමු. නමුත් වාට්ටු දෙපස සියලු පෙදෙස් ඉතා පිරිසිඳු විය. ඔහු නිසා පොඩි දුහුවිල්ලක් වැලි කැටයක්වත් නොතියන්නට පිරිසිඳු කරන්නියන් යුහුසුළු විය. මන්ද පොඩ්ඩක් එහෙමෙහෙ වුනොතින් මොහු බිම ඇන තියාගෙන වැලි කැටය පවා කටට ගන්නා හෙයිනි. හතර වන දින ඔහුට මා කෙරෙහි විශ්වාසය ඇතිවූ සෙයකි.
" නෝනා දන්නවද මම බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකයි මම බිම වැටුනු කුණු කන්නේ" ඒ වදන් පෙළ ඇසුනු සැනින් අප සියලු දෙනා පුදුමයට පත් විය.

" එහෙම කොහොමද පාල , බුදු වෙන්නේ" මම ඇසුවෙමි.

" ඔය කුණු බිම තිබුනොතින් මේ පොඩි ළමයි එහෙම කටේ දාගන්නවනේ නෝනා, ඒ ළමයින්ට ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්, මම කුණු කෑවම ළමයින්ට එහෙම ලෙඩ වෙන්න චාන්ස් එකක් නෑනේ. මම එයාලව මරණයෙන් ගලවනවා" ඔහු බොහොම ආඩම්බරෙන් කියන්නට විය.
"එතකොට පණුවෝ කන්නෙත් ඒනිසාද පාල ?"

ඔහු බොහොම අවිහිංසක සිනහවක් පා " ඔව්" යැයි පැවසුවේය.

මනස දුර්වල වූ මෙවැන්නන්ගේ හිත් හදන්නට බොහෝ කල් ගතවෙයි. විකල් මනසින් එළි බසින සිතුවිලි නිසා ඔවුන් බොහෝ සෙයින් සම්මත ජිවිත වලට වෙනස් දෑ වල යෙදෙයි. එනිසාම සමාජයෙන් කොන්වෙයි. බොහොම සුළු පිරිසක් මෙලෙස මානසික රෝගී ඒකක වලින් උපකාර ප්‍රතිකාර ලබති.

"පාරේ වාහන හයියෙන් යනවා. එතකොට ඇක්සිඩන්ට් වෙනවා. මම පාරට පැන්නම එයාලා බ්‍රේක් කරනවනේ. එතකොට ඊට පස්සෙ හෙමින් යනවා. සමහරු මාව දැක්කාම. මම පනියි කියලා දන්න නිසා හෙමින් යනවා එයාලගේ පණ බේරෙනවා. මම බුදු වෙන්නයි එහෙම පාරමිතා පුරන්නේ " ඔන්න පාලගේ පැහැදිලි කිරීම අර මම මුලින් සඳහන් කල , පාරට පැන වාහන නැවැත්වීම සම්බන්දයෙන්.

" මම බොහොම නිදහසේ ඉන්නේ. ඉඩ කඩම් සේරම නෝනට දරුවන්ට ලියා දුන්නා. ඉතින් මට කැමති විදිහකට ඉන්න ඒ ගොල්ලො ඉඩ දෙන්න ඕනා නේද ?" ඔහු අපෙන් විමසයි.

" මෙහෙමනේ පාල... ඔයා ඔය හැසිරෙන විදිහට හැමෝටම ඔයාගෙන් කරදරයක් වෙන්නේ. ඒ අය ඔයා නිසා දුක් වෙන කරදර වෙන එක ඔයාට පවක්. පනුවෝ කුඩා සත්තු එහෙම කෑවම උන්ගේ පණ හානි වෙන නිසා ඒකත් පවක්. බුදුවෙන්න නම් ඔය කරන දේවල් කළ යුතු නොවේ"

මා දන්නා අයුරින් කර්මය සහ භවය ගැන ඔහුට පැහැදිලි කලා. ඔවුන්ගේ හිත් වල ඇති අදහස් වෙනස් කරන්නේ අපේ නොනවත්වා දෙන උපදේශන මාලාව නිසාද බෙහෙත් නිසාද ? ඒ දෙකම නිසා නොවෙද ?කියා මට සිතේ...සති 3 පමණ අප ඒකකයේ සිටි ඒ මහතා, පසුව ඔහුගේ සිතුවිලි වල බොහෝ වෙනස්කම් සිදු කරගත්තා. පසුව පැවති මාසික සායන වලට ඔහු පැමිණියේත් තනියමයි.එහිදී ඔහුගේ පැහැදිලි හොඳ අතට සිදුවූ වෙනස්කම් දුටුවා.


අපේ පොඩ්ඩෝ

ඉසිවර වෙදැදුරු ගැන කමෙන්ට් ලැබුනු පසු ගිය පෝස්ට් එකෙන් පස්සේ ඒ ගැන ලියන්න හිතුනා. ඒ කිව්වේ ඇත්තටම රූපවාහිනීයේ යන ඉසිවර වෙදැදුරු කියන නාට්‍යය ගැන. එහෙම නාට්‍යයක් තියෙනවා කියලා කනින් කොනින් ඇසුනත් ඇත්තටම වෙලාවේ ප්‍රශ්ණයක් නිසා කවදාවත් ඒ වෙලාවට රූපවාහිනිය නරඹන්න ලැබුනේ නෑ. එක්කෝ වාට්ටුවේ එහෙම නැත්නම් එවෙලෙට ගෙදර වැඩ, උයන පිහන වැඩ කරන්නේ ඉතින් හවසටනේ. අපේ වාට්ටුවෙත් රූපවාහිනියක් තියෙනවා. වාට්ටුවේ ඇතුල්වෙලා ඉන්න පොඩ්ඩො පොඩ්ඩියො ටික මේක වටේම අරක් අරගෙන ඉන්නේ හවස් වෙනකොට. ඊට පිටිපස්සෙන් තමයි අපේ ඩොක් මේසේ තියෙන්නේ. මම නම් කොහොමත් රූපවාහිනිය නරඹනවා අඩුයි. එනිසා ටෙලිනාට්‍ය කතා ගැන වැඩි ඇල්මක් නෑ. ඔහොම ඉන්නකොට ඉතින් අපේ පණ්ඩිත රාළලාගෙන් තමයි එයාලා ආසාවෙන් බලන වැඩසටහන් ගැන මටත් දැනගන්න පුළුවන් වෙන්නේ. එයාලා ආසාවෙන් බලද්දී අපි වෙනත් කාර් යයන් වල නිරත වෙන එකත් මේ පොඩ්ඩොන්ට ප්‍රශ්ණයක්. ඔන්න ඔය කියන ඉසිවර වෙදැදුරු යන වෙලාවෙත් මේ ළමයි ටික දුවන් ඇවිත් ඒක බලන්න ඕනැයි කිවා.

එයාලා ඔන්න ඉතින් කොරියානු නාට්‍යය බලනවා, මම මගේ පාඩුවේ ලියන්න තියෙන ටිකට් ටික චෙක් කරනවා. මම දන්නේ නෑනේ ඉතින් ඔය වෙදැදුරු . මගෙන් කිසි ප්‍රතිචාරයක් නොමැති තැන එක පැංචියෙක් අහනවා.
ඩොක්ට ඇන්ටි ඔයා ඉසිවර වෙදැදුරු බලන්නේ නැද්ද ? කියලා.
"නෑනේ පුතේ"
"ඇයි ඒ " ඒපාර තව ප්‍රශ්ණයක්.
"මං ටී වී බලන්නේ නෑනේ" යන්තම් ගැලවෙන්න මම උත්තර දුන්නා හැබැයි ඇත්තම.
 ටික වෙලාවක් කල්පනා කල මේ පැංචි " ඇයි ඔයා බෝඩිමකද ඉන්නේ.. " යැයි ඇසුවා.

23 comments:

  1. මේක කියෙව්වාම, මට මතක් උණේ 'රතු රෝස් මල්' කාපු මානසික රෝගියෙක් ගැන ලියැ උණු රුසියන් කෙටි කතාවක්.

    මේ වගේ ලෙඩ්ඩු දකිද්දි, ජීවිතේට මූණ දෙන එක ලේසියි කියලත් වෙලාවකට හිතෙනවා. තමන්ගේ කරදර විඳ දරාගන්ට ඒවායින් හැකියාවක් ලැබෙන නිසා...

    ඇත්තටම ඔයා ඉන්නේ බෝඩිමක්ද? :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඉන්ෙන් අාංඩුෙව් ෙබා්ඩිමක :D :D :D

      Delete
    2. හාහා ඒක දැකලා හිනා ගියා.... ඈත එපිට ඉන්නකොටනම් හිටියේ ආණ්ඩුවෙන් ලබා දුන් ක්වාටර්ස් වල.. දැන්නම් තමන්ගේ ගෙවල් වල ඉඳන් වැඩට එන්නේ..පොඩ්ඩි.. අපි දැන් දුෂ්කර ක්‍රියා ඉවර කරලානේ ඉන්නේ

      Delete
  2. අනේ පව් පාල... පිස්සුවෙන් උනත් එයා හිතලා තියෙන්නෙ අනිත් අයව බේරගන්න හැටි... දැන් එයාට හොඳයිද...?

    ReplyDelete
  3. ශ්‍රද්ධාසම්පන්න පිස්සුවක්.. පව්... ඒ මනුස්සයට ඇහුම්කන් දෙන්න, කාරණා පැහැදිලි කරල දෙන්න කෙනෙක් ඉන්න නැතිව ඇති... ඒ නිසයි එහෙම වෙන්න ඇත්තෙ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම තරු අක්කා... බොහෝ අයට තමන්ගේ මනසේ සිදුවන වෙනස්කම් නොතේරෙනවා එනිසා ඒ අය වටේ ඉන්න අයයි දුක් විඳින්නේ...

      Delete
  4. නත්තල් කැරොල් වැඩසටහන්වලදි මානසික රෝහල්වලට යන්න අවස්ථාව ලැබිල තියෙනවා... හරිම දුක්බර අත්දැකීම්... ගොඩක්ම දුක හිතෙන්නෙ මානසික රෝගී ගැබිණි අම්මලා, ඒ වගේම පුංචි දරුවො ලැබුණු අම්මලා ඉන්න වාට්ටුව...

    ReplyDelete
  5. පාල හොද පරිකල්පනයක් ඇති අයෙක් ලෙසයි මට පෙනෙන්නේ. සමහර විට ඔහු යම් දැනුවත් කමක් ඇති කෙනෙක් වෙන්නට ඇති.. ස්තුතියි පාලගේ කතාව කිව්වාට..

    ReplyDelete
    Replies
    1. ඒයාගේ තර්ක හරි උනත්, සම්මත සමාජ තත්වයන්ට ගැලපෙන්නේ නෑ.... එයාගෙම සෞඛ්‍යටත් හානි දායකයිනේ... ස්තූතියි කියෙව්වාට...

      Delete
  6. අනිත් කොණගේන් මට අහලා පැහැදිලි කරගන්න තියෙනවා දෙයක්.ඔබ ඉතා සංයමයෙන් මා හට එය පැහැදිලි කරදෙයි කියා මම අපේකෂා කරනවා.
    ඇයි ලංකාවේ වෛද්‍යවරු සම සෙෘඛ්‍ය උපාධිය අවු 04 කට දික් කරනවාට විරුද්ධ?
    ඇයි ඔවුන් දෙියන්ට සූතිකා පුහුණුව දෙනවාට විරුද්ධ? කරුනාකර පැහැදිලි කිරිමක් කරන්නේ නම් ඉතා මැනවි.

    ReplyDelete
    Replies
    1. ඉහත ලිපියට අදාල දේ ගැන පමණක් විමසන්නේ නම් පිළිතුරක් දෙන්නම්.

      Delete
    2. ඇයි බයද?

      Delete
  7. මානසික රෝග... අර සමහරු තමන් සෝවාන් වෙලා ඉන්නෙ..රහත් වෙලා මාර්ගපල ලබලා ඉන්නේ කියලා කියන්නේත් මානසික රෝග හින්දා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සියලු පෘථග්ජනෙයා් උම්මත්තක ෙයා්ය.....

      Delete
  8. මානසික රෝගීන් දෙස බොහොම සංවේදීව බලන්න මාව පුරුදු උනේ පිංචි කාලෙ ඉඳලමයි...ඒ අය මට හැමදාම ගේන්නෙ ඇහැට කඳුලක්..

    ReplyDelete
  9. ඒකත් මාර චින්තනයක්. ඔය ඔක්කොම හිතට වහල් වීම නෙවෙයිද?


    අනිත් කොණ දාලා තීයෙන බුදු වදන්වල පින්තූර දැක්කාම මට මතක් වුනා එක හොලිවුඩ් ‍ෆිල්ම් එකක චරිතයක් කියපු පඬි වදනක්.

    Clear your mind. Your ass will follow.

    මේක බැලූ බැල්මට තරමක් අසභ්‍ය බව පෙනුනත්, ඇත්තෙන්ම මේකෙන් කියන්නෙ සිත නිදහස් කරගන්න, එතකොට ඔබ නිදහස් කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ් ඕකනම් සහතික ඇත්ත...ඒකම තමයි අමාරුත් කරගන්න

      Delete
  10. දුකත් හිතෙනව නෙද

    ReplyDelete
  11. පව් .පාල තමන්ට දුක් දී ගන්නේ අනුන් වෙනුවෙන්. ඒ නිස්කාරන දුක් විඳීමක් බව ඔහුට පේන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. බොහෝ අය එසේයි අක්කා.... අනුන් වෙනුවෙන් තමන් දුක් විඳිනවා..

      Delete
  12. මේවා සමහර විට කර්මානු රූපව පතාගෙන ආ දේවල් වෙන්න පුළුවන් ඒ කොහොම වුනත් මනසක් සුවපත් කරන්න ඒ විදියට ප්‍රතිකාර කරන්න හැකිනම් ඒ වෙදැදුරුවරු තමයි බුදු වෙන්න ඕනේ

    ReplyDelete
  13. අනිත් කොණ මට නම් ඔය පාලගේ කතාව ඇහුවම දැනුනේ හුරු පුරුදු බවක්... මොකද ඔය සමහර දේශපාලකයෝ තමන් කරපු කියපුවට හේතු දක්වන්නේත් ඔන්න ඔය විදියට... ඒ කියන්නේ උන්ටත් පිස්සුද???

    ReplyDelete
  14. පොත් දෙකක් පළකල බව ෆේස්බුක් හි දැක්කා... බ්ලොග් එකේ ඒ පිළිබඳ සටහනක් දැම්මොත් හොඳ නැද්ද? අනික, බ්ලොග් එක නතර කරන්න එපා.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !